තමන්ගේ විමුක්තිය පසක්කර....

දැන උගත් බුද්ධිමත් පඬිවරයකු යෑයි නම් පට බැඳ ගන්නට පළමුව තමන් විමසා බැලිය යුත්තේ තමන් සතුව එම ගුණ දම් තිබේදැයි යන වගය. එසේම අප සෑම කෙනකුම ලබන ලද ඉගෙනුම තුළින් හෝ ඉඩකඩම් මුදල් හදල් තුළින් හෝ ලැබිය හැකි විමුක්‌තිය තාවකාලික වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්‌ පන්සියයකට ඈත ඉතිහාසයේ දී දේශනා කොට ඇත. උන් වහන්සේ නොමඟ ගිය සියලු සත්වයින් යහ මඟට ගැනීමේ පරමාර්ථයෙන් දේශනා කෙරුණු කාරණා සියල්ල සර්වකාලීනය. එතෙකුදු වුවත් මුදල් පසුපස හඹා යන සමාජයක්‌ ඇතිවීම හේතුවෙන් අද දිවිගෙවන මිනිසුන් කරන්නේ කුමක්‌ද? කළ යුත්තේ කුමක්‌ද? යන කරුණු කාරණා දැන දැනත් නොදන්න පුද්ගලයන් ලෙස දිවි ගෙවන්නේ අන්ත අසරණ දුක්‌ත ස්‌වභාවයෙනි

 බුදුන් වහන්සේ "අලගද්දුපම" සූත්‍රයෙන් දේශනා කරන ලද්දේ සර්පයාගේ වලිගයෙන් ඇල්ලු පසු දෂ්ඨ කරන බව දැන දැනත් එයම කරන්නේද යනුවෙනුයි. එහෙත් එය දැන දැනත් එසේ කරන මිනිසුන් අප සමාජ තලය මත දිවි ගෙවන්නේ සැපයෙන් ද යන කරුණු කාරණා අප අපම විමසා බැලිය යුතුය. බුදුන් වහන්සේ සර්පයෙකු උපමා කොට ගෙන එසේ දේශනා කරන ලද්දේ තමන් කරන ලද කාර්යය පවක්‌ බව දැන දැනත් එසේ නොකරන ලෙසයි.එසේ කළහොත් සිදුවන විපත ද ඉහත උපමාවෙන් මැනවින් දත යුතුය. කෙසේ වෙතත්
 

අප සෑම කෙනෙකුම දිවිගෙවන සමාජ තලය මඩ වගුරක්‌ හා සමානය. එය පොදු ධර්මතාවකි. එයට නිදසුනක්‌ ලෙස නෙළුම් මලක්‌ දෙස බලමු. ඉඳිබුවන්, දියබරියන්, කුඩමස්‌සන් දිවි ගෙවන අපිරිසිදු ජලයේ පතුලේ හැදී වැඩී බුදු පුදට ගැනීම සඳහා සියලු සත්වයන්ගේ නෙත් සිත් පිනවමින් නෙළුම සුපිපෙයි. එහි කිසිදු අවලක්‍ෂණයක්‌ හෝ දුඟඳක්‌ නොමැත. මඩෙහි සුපිපුනත් එය එලෙසමය. බුදුරජාණන් වහන්සේ ද තමන් උපත ලද්දේ කුමක්‌ නිසාද? යන කාරණය නොදැන සිටින පුහුදුන් මිනිසුන් දිවි ගෙවන සමාජයක කුඩා ළදරුවෙකු ලෙස උපත ලදී. කුඩා කාලයේ සිදු කළ යුතු සියලුම කෙලි කවටකම් හා ගිහි ජීවිතයේ විඳිය යුතු සියලුම සැප සම්පත් ද විඳ දරා ඒ සියල්ල ගැන කලකිරීමෙන් සියලු සැප හැර දමා සැබෑ සත්‍ය කුමක්‌දැයි සොයා ගොස්‌ සැබෑ සත්‍ය හෙවත් නියත විමුක්‌ති මාර්ගය සොයාගෙන ලෝකයේ දිවිගෙවන සෑම සත්වයෙකුටම අවබෝධ කළේ කුමක්‌ නිසාද? දේපළ සැප සම්පත් බලාපොරොත්තුවෙන් ද? පුද පූජා සැළකිලි සත්කාර ගරු බුහුමන් බලාපොරොත්තුවෙන් ද? නැත. සියළුම සත්වයන් සැනසීමේ මාර්ගය කුමක්‌දැයි සොයමින් දුක්‌තව අසරණව වැළපුනු නිසාය. එසේ නම් මේ ලෝකයේ දිවි ගෙවන මනසින් උසස්‌ මිනිසුන්ට එලෙස කිරීමට නොහැකි මන්ද? එය අපගෙන්ම විමසිය යුතු පැනයක්‌ ව පවතී. අප සැපය කියා විඳින්නේ කුමක්‌ ද? මේ සියල්ල අවබෝධ කරගැන්මට සෑම දෙනෙකුම කුඩා කල සිට මනා පුහුණුවක්‌ ලැබිය යුතුව ඇත. ගලායන දිය දහර හරස්‌ කොට කෙත්වතු සරු සාර කරන්නට හෝ තම තමන්ගේ නොයෙකුත් අභිමතාර්ථයන් ඉටු කරගන්නට උත්සාහ කරන්නේ යම්සේද තමන් විසින් ලබාගත් මේ ජීවිතය ද නිසි පරිදි ජීවත් කළ යුතුව ඇත්තේ තමන්ගේ මෙන්ම අනුන්ගේ ද විමුක්‌තිය සලසා දීමේ පරමාර්ථයෙනි. තමන් සිහින මාළිගා තනන්නකු වන්නේ නම් එම සිහින මාලිගා බිඳ දමන්නෙකු නොවී තමන් විසින් මවන ලද සිහින මාළිගා ගොඩනඟන්නකු විය යුතුය.

මෙලොව දිවි ගෙවන සෑම පුද්ගලයෙකුම තමන්ට ආවේණික වූ සැප සම්පත් විඳින පුද්ගලයින් ය. එසේම එම සැප සම්පත් ඔවුන් විසින්ම උදා කරගන්නා ලද්දේය. සෑම පුද්ලයෙකුගේ ම උත්සාහය මත ලබන ලද සැප සම්පත් වලින් ඔවුනොවුන් විමුක්‌තිය පසක්‌ කරගනු ඇත. ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වූයේ ද මනුෂ්‍යයෙකුව උපත ලබා එම තත්වයට පත්වන්නට නොහැකිය යන සිතිවිල්ලේ නොසිට මම බුදු වෙමියි යන පරමාර්ථයෙන් සෑම කාර්යයක්‌ ම නොපිරිහෙලා ඉටුකරගන්නට උත්සාහ දැරූ නිසාය. එය අපගේ අනාගතයට පියනගන්නට මනා පිටුවහලක්‌ වනු ඇත. ජීවිතයේ සෑම බාධකයක්‌ම ජයගත යුතු එකම කෙනා තමන්ම පමණි යන සිතුවිල්ල සැම දෙනා තුළ තිබිය යුතුය. එයට එකම හේතුව වනුයේ තමා වෙත එන සැම දුකක්‌ කඳුලක්‌ ම පිසදාගත යුත්තේ තමන්ගේ ම දෑතින් වන නිසාය. තමන් වෙත පැමිණෙන සෑම ගැටළුවකටම මුහුණ දීමට නම් සෑම පුද්ගලයෙකුම කාල රාමුවකට අනුව කුඩා කල පටන් ම කාර්යයන් හි නියෑලිය යුතුය.

මා පිය පහස යට දිවිගෙවන කාලපරාසය තුළදී වුවත් තම ඉගෙනීමේ කාලපරාසය තුළදී වුවත් තම නිදහස ලබාගැනීමටත් අනාගතයේ තමන් සාමජයේ පිළිගත් පුද්ගලයෙකුවනවාය යන පරමාර්ථයෙන් තමන් කරන ක්‍රියාදාමයන් සියල්ල පිලිවෙලකට නොපිරිහෙලා ඉටුකිරීමෙන් තම පරමාර්ථයන් මුදුන් පමුණුවාගත හැකිය. ආදරණීය දෙමඟපියනි, දූ දරුවනි, ඔබ එවැනි තත්ත්වයකට පත්විය යුතු ද නැත. ඔබට සිතා බලා කටයුතු කළ හැකි විමසුම් ශක්‌තියක්‌ තිබේ.ඔබට කථා බහ කරන්නට නොහැකි වුවත් යමක්‌ කමක්‌ තේරුම් ගන්නට හැකියාවක්‌ ඇත්නම් ඉගෙනීම තුළ මැනවින් නියෑලෙන්න. ඔබේ එක්‌ අංගයක්‌ විකල වූ පමණින් එය මුල්කරගෙන ඔබේ මුළු ජීවිතයම අංග විකල දිවියක්‌ කරගන්නට උත්සාහ නොගන්න.
 

එහෙත් අද සාමාජයීය පරිසරය තුළ බොහෝ දූ දරුවන් සේම දෙමාපියන් ද හුරු පුරුදු වී සිටින්නේ තම දුවට හෝ පුතාට කතා කරන්නට නොහැකි නම් පාසල් නොයවා නිවස තුළම රඳවාගෙන ඔහුගේ සියලු කටයුතු දෙමාපියන් ම සිදුකිරීමටයි. එහෙත් දෙමාපියන් නොමැති කාලයක අර දරුවාට යන කල කුමක්‌දැයි විමසා බැලුවේ නම් ඒ දරුවාට කරන ලොකුම හතුරුකමක්‌ යෑයි දෙමාපියන්ට පසක්‌වනු ඇත. මේ කරුණු තුළින් අපට මැනවින් පසක්‌ කරගත හැකි මෙන්ම වටහා ගත යුතු කරුණු කාරණා රාශියකි. ඒ මොනවාදැයි සොයා බැලුවහොත්,


යම් කෙනෙකු උත්පත්තියෙන් ම රූප සම්පත්තිය අහිමි අංග විකල පුද්ගලයෙකු යෑයි ප්‍රසිද්ධ වුවත් ඒ තැනැත්තාගේ උත්සාහය මත බොහෝ ලෙස හික්‌මීමෙන් යුතුව ඉගෙනීමේ ක්‍රියාවලියේ යෙදී සමාජයේ උසස්‌ ස්‌ථානයකට පත්වුවහොත් එසේම ඒ තැනැත්තා සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකුට තමන් ලබාගත් දැනුම උපයෝගී කොට ගෙන අධ්‍යාපනයක්‌ ලබාදෙන්නේ නම් ඔහු සමාජයේ පිළිගත් තැනැත්තෙකු බවට නිරායාසයෙන් ම පත්වනු ඇත. ඒ අවස්‌ථාවට ඔහුගේ රූප සම්පත්තියේ අඩු ලූහුඬුකම් බාධාවක්‌ නොවනු ඇත.

කුඩා කල පවුල තුළ අම්මේ තාත්තේ හෝ අම්මේ අප්පච්චී යෑයි හඬගා කියන්නට හෝ සිනාසෙන්නට නොහැකි දරුවකුව මුණින් අතට පෙරලමින් යහනේ සිටින විට අපගේ මාපිය දෙපලවත් වෙනත් කිසිවකුවත් සමහර අවස්‌ථා තුළදී කිසිදු ගණන් ගැනීමකට නොගනී. එහෙත් අප උස්‌ මහත්ව යම් යම් සුරතල් වදන් තෙපලන විට බොහෝ උදවිය අප හා ගැටෙන්නටත් කථා බහ කරන්නටත් උත්සාහ දරති. එහෙත් ඔබ කිසිත් කරකියාගන්නට නොහැකි කුඩා කල ලෙඩකු ලෙස හෝ ගොළුවකු ලෙස කිසිත් ඇසෙන්නේ නැති බිහිරෙකු ලෙස දිවිගෙවන ලද්දේ නම් ඔබට එවිට සමාජයේ දිවිගෙවන සෑම කෙනෙකුම නොසලකනු ඇත. එමෙන්ම ඔබට සමාජයේ කිසිදු තත්වයකට පත්වන්නට නොහැකි පුද්ගලයෙකු යෑයි නමක්‌ ද තබනු ඇත.

විද්‍යාව යනු රුවනැති මනුෂ්‍යයාට අධික වූ රූපයකි. එසේම කිසිම දිනක නොනැසී පවතින වස්‌තුවකි. බොහෝ වස්‌තු උදා කරන මිතුරෙකි. එපමණක්‌ ද නොව කීර්තිය යසස්‌ හා සැප සම්පත් ඇති කරන සහායකයෙකි. ගුරුවරුන්ට ගුරුකෙනෙකි. නොදන්නා රටකට යැමේදී නෑදෑයෙකි. උතුම් දෙවි කෙනෙකි. මේ සියල්ලටම සමාන ලෙස රටේ රජවරුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලද හැකි නිසි වස්‌තුවකි. එසේ වුවත් විද්‍යාව හෙවත් ඉගෙනීම නොමැති තැනැත්තා තිරිසනෙක්‌ හා සමානය.
 

ජීවිතය යනු ගලායන දිය දහරකි. ඒ ගලායන දිය දහරට බොහෝ බාධක කම්කටොලුවලට මුහුණ පාන්නට සිදුවනු ඇත. එතකුදු වුවත් ඒ ගලා යන දිය දහර අතරමග නතරවන්නේදැයි අප අපගෙන්ම විමසිය යුතුය. ඒ මන්දයත් අප හමුවට එන බාධක කම්කටොළු හමුවේ සිතින් අප දුක්‌ මුසුව හඬා වැලපෙන නිසාය. ගලා යන දිය දහර හරස්‌ කර මහා පවුරක්‌ බැන්දත් ඒ ගලා යන දිය පහර ගලාගෙන ආ වේගයෙන්ම එම පවුර බිඳිමින් හෝ යා යුතු මඟ ගමන් කරයි. නමුත් දිය පහර එසේ ගමන් කරන්නේ කවරෙකුට විමුක්‌තියක්‌ සැළසීම සඳහා ද? ගලායන දියපහරට පරමාර්ථයක්‌ ඇත. එනම් දිය පහර පවතින පරිසරය ස්‌වයංපෝෂණය කරමින් එම තත්ත්වය නොවෙනස්‌ ව පවත්වා ගැනීමයි. නමුත් ගලායන දිය පහර අපට අවශ්‍ය තැනකට ද හරවා තම තමන්ට අවශ්‍ය කටයුතු කළ හැක. එය කරන්නට නම් හොඳින් සිතා මතා විමසා කටයුතු කළ හැකි ප්‍රඥාවක්‌ තිබිය යුතුය.

එසේ නොවන්නට ගලායන දිය දහරින් ගඟක්‌ මෙන් හෝ ඇලක්‌ මෙන් හෝ ඔයක්‌ මෙන් මහා ගල් මුල් හෙල් අතර වැදෙමින් කොතරම් දුරක්‌ අලංකාරයෙන් ගලා ගියත් එයින් ඇති ඵලක්‌ නැත. එලෙසමය ජීවිතය, මෙඅප සැමදෙන දිවියේ හැම මොහොතකම වෙහෙසවෙන්නේ ඉපදුනු නිසා ජීවත්වීමටත් ජීවත්වන නිසා අඳින්න පළඳින්නටත් උත්සාහ කරන සමාජයක්‌ තුළයි. ඒ නිසාම මේ සමාජය තුළ නැණසින් මෙන්ම මනසින් ද වෙහෙසී කටයුතු කළ යුතුය. ඒ උත්සාහය කළ යුතු කාලය අද, හෙට, අනිද්දා කියා නොසිතන්නට මේ දැනුම අප සෑම කෙනෙකුගේම දිවිගමන යහපත් කරන්නට යෙදවිය යුතුය. ජීවිතය යනු කුමක්‌දැයි මෙයින් මැනවින් දත යුතුයි. තම තමන් විසින් ඉතාම වෙහෙස වී ලද ජීවිතය ජීවත් කරවන්නේ කෙසේද? එය ජීවත් කරවීම තුළින් ලබන විමුක්‌තිය කුමක්‌ද? යනාදී කරුණු කාරණා මැනවින් නැණසින් අවබෝධ කරගත යුතුයි. 

සැපයක්‌ යයි හඬගා කියමින් අනුන්ගේ ගුණදොස්‌ මෙන්ම අනුන් කළ නොකළ දේ ගැන සොයමින් දිවි ගෙවන්නට උත්සාහ දරන නිසා ඒ ඒ මිනිසුන්ගේ නෙත් තුළ සෑම දිනයකම කඳුළු රඳමින් දිවි ගෙවන්නට සිදුවී ඇත.  එයට හේතු වී ඇත්තේ තාවකාලික සැපයක්‌ සොයමින් සිටියත් ඒ අඩුලූහුඬුකම් සකස්‌ නො කරගන්නා නිසාවෙනි. ඔවුන් එසේ දුක්‌ත ජීවිත ගත කරන්නට හේතුවනුයේ ඉගෙනීම නැමති අමා දිය දහෙඳු නොපීනූ නිසා බව මැනවින් වටහා ගත හැකිය. එය කෙසේ ද යත්? මැනවින් උගත්තෙක්‌ අනුන්ගේ වැරදි මෙන්ම ගුණදොස්‌ සොයන්නට නොපෙලඹෙයි. ඒ එය සෙවීමෙන් තමන්ට හෝ අනුන්ට යහපතක්‌ නොවන බව වටහා ගන්නට හැකිවූ නිසාය. මේ ලෝකයේ දිවි ගෙවන ලද සෑම මනුෂ්‍යයෙකුම කළ යුතු එකම කාඳුයය වන්නේ පළමුවෙන් තමාගේ විමුක්‌තිය ළඟාකර ගැනීමයි. එම විමුක්‌තිය කුඩා කාලයේ තමන්ගේ මාපිය දෙපලගේ පහස ලබමින් අම්මේ, තාත්තේ, අක්‌කේ අයියේ යනාදී නම් ගොත් තෙපලන්නට හුරු වන්නේ යම්සේ ද එතැන් පටන් තරුණවියට පාතබන මොහොත දක්‌වාම එම කාල පරාසය තුළදී කළ යුතු ඉගෙනීම් කටයුතු මැනවින් සිදු කළ යුතුය. එම ඉගෙනීම් කළ යුතු මෙන්ම තමාගේ අනාගත අභිවෘද්ධිය පසක්‌ කරගැනීමට උපයෝගී වන සෑම කටයුත්තකම නියෑලිය යුතුය. 


Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::