Sunday, October 07, 2012

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

ලොව ජීවී අජීවි සෑම දෙයක්ම ක්‍රියාත්මක වන්නේ පදනම් අටක් තුළයි. එය අෂ්ඨ ලෝක ධර්මතාවය හෙවත් අටලෝ දහමයි. ලෝකයේ නිවැරදි යථාර්තය දුටු එකම ශාස්තෘ වරයාණන් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ යා යුතු මග නිවැරදිව පෙන්වාදුන් සේක.

එහෙත්, මෝහයේ අදුරු තිමිර පටලය තුළ වැතිරෙමින් වාණිජත්වයේ කුරිරු හස්තයට හසව වත්මන් මිනිසා යන මාවතේ නැවතුම කොතැනකදැයි ප්‍රශ්ණාර්ථයකි.

මනුෂ්‍යයත්වය සාරධර්ම සංස්කෘතිය මුදලට බිලිවුන සමාජයක සදහම් සිසිලසේ සුචරිතවත් පණිවිඩය සංනිවේදනය කිරීම අතිශය භාරදූර කාර්යකි. එහෙත් දිනෙන් දින අගාදයට පියමනින සමාජ තලයක හුදු මනුෂ්‍යයත්වය අගයන මිනිසුන් ලෙස භාරදූර කාර්යක් වුවද සදහම් පණිවිඩය මානව හදවතට නොපමාව සංනිවේදනය විය යුතු කාලය එළබී ඇත.

එදා මෙදාතුර ලොව බිහිවූ විශිෂ්ටතම සංනිවේදකයා ලොව්තුරා බුදුන් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේගේ සංනිවේදන ක්‍රමය ඉතා සරළ හා නිරවුල් වූවකි. බිහිසුනු ආලවකයාද වල්මත්වූ නාලාගිරි ඇතාද ලොව්තුරු බුදු මුව කමලින් ගලාගිය යහපත් වදන් හමුවේ දන නැමූ අයුරු විශ්මය ජනකය. එහෙත් වර්තමානය දෙස නෙත් විවර කර බැලු විට දිනෙන් දින මනුෂ්‍යයත්වයේ වටිනාකම් පහළ වැටෙන සමාජයක අප දිවි ගෙවන්නෙමු. තවත් පුද්ගලයෙකුට ගෞරව දැක්වීමට නොදන්නා හා ගෞරව ඇතික කතා කරන්නට නොදන්නා මිනිසුන් එමටය. අවස්ථාවාදීව පටු අරමුණු වෙනුවෙන් තාවකාලික සටන් මගකට අවතීර්නවී සිටින මිනිසා කරන කියන දෑ පවා සමාජය උඩුයටිකුරු කරන්නට සමත්වී තිබීම අතිශය කනගාටුවකට කරුණකි. වත්මන් මිනිසා තුළ ද්වේෂය වෛරය පලිගැනීම ක්‍රෝධය ආදී සිතුවිලි දිනෙන් දින උඩුදුවමින් පවතී. මිනිසුන් ලෙස පෙනී සිටියද සැබෑ මිනිසත්කම හදුනා නොගත්තවුන් කෙතරම් ඇත්ද? අලූයට සැගවුණු ගිනිපුපුරු ඕනම මොහොතක විශාල ගින්නක් උපදවන්නට සමත්වන්නා සේ සුළු වූ සිත් අමනාපකම් දුර දිග ගොස් එය මතකයේ රදවමින් අවස්ථාව පැමිණි පසු පළිගන්නට සූදානම් පුද්ගලයින්ද එමටය. මෙවැනි ගුණදහම් පිරිහෙන සත්පුරුෂ දර්ම පිරිහෙන යුගයක යළි ලොව්තුරු දහම මානව හදවතට එකතුකරන්නට වෙර දැරීම කාලයේ අවශ්‍යතාවයක්ම වනු ඇත.

ධනය නිලය බලය ආදී මිනිසා පිරිහානියට පත්කරන අස්ථීර බල ලෝභී පැවැත්ම හේතුවෙන් පරල සුගම අර්ථවත් වදන් මිනිස් මුවින් පිරිහී ඒ වෙනුවට ජීවිතයත් සමාජයත් රටත් වනසාලන රුදු වදන් හා කි්‍රයාවන් බිහිවීඹ මෙනතරම් ඛේදනීයද?

එකිනෙකා රුදුවදනින් ගහ බැන ගැනීම විනා වත්මන් මිනිසා තුළින් පුද්ගල වගකීම් හා යුතුකම් ඉටුකිරීම මිලිනව ගොස් ඇත. මෙය සමාජය අභිමුවේ සුවිසල් ගැටළු රාශියකට මූලික පදනම අයුරින් සැදී ඇත. දැවෙන හදවත් සුවපත් කරන්නට කදිම ඖෂධය ලෙස ලොව්තුරු බුදුන් වහන්සේ දේශණා කළේ උතුම් ශ්‍රී සද්ධර්මයයි.

මහණෙනි, ධර්මය හා සමාන බෙහෙතක් නැත. එය පානය කරන්න.යැයි බුදුන් වහන්සේ දේශණා කර වදාළ සේක. එසේම මිනිසෙකු බමුණෙකු හෝ වසලයෙකු බවට පත්වන්නේ උපතින් නොවන බවත් ඔහුගේ හැසිරීම තුළින් බවත් වසල සූත්‍රයේදි මැනවින් දේශිතය.

සිත කය වචනය යන තිදොරින් මිනිසා දස ආකාරයක වැරදි සිදු කරන බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. මේ අතර අයහපත්ව වචන භාවිතා කිරීම තුළ සිදුවන විනාශය සුළුපටු නොවන බවද බුද්ධ දේශණාවේ මැනවින් දේශිතය. බොරු කීම කේළාම් කීම රළු වදන් තෙපළිම හිස් වචන කීම මිනිසා මුවින් සිදු කරන වැරදි වේ.
   
බොරු කීමෙන සමාජය මුලා කරණ පුද්ගලයාත් කේළම් කීමෙන් විනාශය ලගා කරගන්නා තැනැත්තාත් අන්‍යයන් තලා පෙළමින් රළු වදන් හා හිස්වදන් භාවිත කරන්නාත් කිසිදිනක යහලත කරා ගමන් නොයන්නා බව බුදුන් විසින් දේශිතය.
   
මේ අනුව බලන කළ සිත කය වචනය යන තිදොරින් අපෙන් සිදුවන දසාකාර වරදින් නිදහස්ව දස කුසල් තුළ නියැලෙන්නා මැනවින් හැදුනු මෙන්ම සමාජයේ ශිෂ්ඨ සම්පන්න පුද්ගලයෙකුද වනු නොඅනුමානය. මුවින් පිටවන වදන් නිරන්තරයෙන් යහපත් කරගන්නට අප වෙර දරමු. එය හෙට අප පාර්ථනා කරන යහපත් සමාජයට මනා පිටිවහලක් වනු ඇත.

No comments:

Post a Comment