Sunday, April 26, 2015

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ



නිඛිල ජනමන පුණ්ඩරීකවන සණ්ඩමණ්ඩිතප්‍රවරාදිත්‍යය ඝණතර තිමිර තේජෝභිරාම ඝෝරමාර මත්ත මාතංඝ කදම්බ තුම්බ චුම්බිත සම්භේදන පංචවර්ණ රේඛත්‍රයානු රංජිත ශ්‍රීමත් ශ්‍රී ඝණ සුගත තථාත වරධර්ම චක්‍රවර්තී ස්වාමී වූ තිලෝක තිලක තිලෝගුරු භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේ විසින් ආසනාරූඩව තුන්ලොවට සුරතුරක්මෙන් පාතුර්භූතවී වැඩවදාරන්නාවූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදිනායුරු කෙසේදයත් යනවග මෙසේ දේශණාකොට වදාළ සේක. එසේ හෙයින් ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් උපදිනායුරු කෙසේදයත?්. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විසින් පර්ෂද් මධ්‍යයෙහිදී මේ සත්වයෝ යටගිය දවස ගෞතම නම් බුදුන්ගේ ශාසනය පවත්නා කල්හී ශ්‍රද්ධාවන්තව පර්ණශාලා ධර්ම ශාලා භෝජන ශාලාදිය කිරීමෙන්ද ධර්ම දේශණාදිය  පැවැත්වීම් බොහෝ වශයෙන් බොහෝ පිංකම් කොට එතැන් පටන් මෙතැන් දක්වා මෙබදු දිව්‍ය මනුෂ්‍ය සම්පත් විදිමිින් ආවාහුයැයි වදාරන බවමුත් අන් කිසිවෙකු විසින් කියා නිමවාලිය නොහැක්කාවූ ආනිශංස ඇත්තේමැයි. 
එසේ හෙයින් ඒ මතු බුදුුවෙන මෛත්‍රී බුදුන් උපදිනා පිරිදි කෙසෙදයත්. මේ ගෞතම බුදුන්ගේ ශාසනය පංචප්‍රකාරයකින් අන්තර්ධානව අන්ත රහිතව ඇතිකල්හී මෘග සංවර්ෂාවකින් මේ සත්වයෝ විනාශ භාවයට පැමිණෙතී. එකල්හී ක්‍රෝධ බහුල කොට පැවති සත්වයෝ එම වර්ෂාවට අනුව වැහි බින්දුුවකින් නමුදු තෙමුනු හැම දෙගේම අතට පරඩලා පතක් නමුත් අසුවුනි නම් එය තියුණු මුවහත් ඇති කඩුවක් පත්වෙයි. තම තමන්ගේ මව්පිය ගුරුවරාදී කිසිවෙකුත් දුුටුවේද ඔවුන් ඌරන් මුවන් සේ පෙනෙයි. එවිට ඒ තියුණු මුවහත් ඇති කඩුවලින් කපා කොටා විනාශ භාවයට පැමිණ ලේ වැකුනු ශරීර ඇතිව මැරී වැටි සිටිනාවුන් දැක අහෝ මෙබුදු සත්ව ඝාතනයක් සිදුවීමට කවර අකුශල කර්මයක් සිදුවූූයේදැයි බලා මෙයට මූලික ප්‍රානඝාත අකුශල කර්මයබැව් සලකා ඔවුනොවුන් සෑම දෙනාම දසකුශල සාමදානයෙන් ප්‍රානඝාතාදී දස අකුශල් දුරුකොට දස කුශල සාමදාන බලයෙන් ඔවුනොවුන්ගේ ආයුෂ ක්‍රමයෙන් වැඩී ගොස් අසංඛ්‍යෙයක් වෙයි. අසංඛ්‍යෙයෙහි සිටි ආයුෂ ඇති කල්හී මුනුෂ්‍යයින්ට මෙබදු සිතක් පහල වෙයි. මේ ජීවිතය උපන් කලක් හෝ මියෙන කලක් නොපෙනෙන බැවින් සදාකාලික යැයි සලකා අකුශල චේතනාවන් උපදවා ගනිතී. මේ අකුශල චේතනාවන් බහුල වෙත්ම අසංඛ්‍යෙයෙහි සිටි ආයුෂ ක්‍රමයෙන් පිරිහී ගොස් අසූහාර දහසක් වෙයි.
එකල්හි දඹදිව සුවාසූ දහසක් නුවරින් පිරිවරන ලද කේතුමතී නම් උත්තම රාජධානියක් වෙයි. දිග දොළොස් යොදුන් වෙයි. පළල සත් යොදුන් වෙයි. තව්තිසාවැසි දෙවියන්ගේ ආලක මන්දා නම් රාජධානිය සෙයින් විසිතුරු වෙයි. උතුරුකුරු දිවයින සෙයින් සුලබත්ත ආහාරපාන වෙයි. අත්‍යයන්ත සුඛසමුජ්ජිත මනුෂ්‍යයින් විසින් දශවිද නාදයෙන් එකනින්නාද වෙයි.
එකල්හි දඹදිව දණ්ඩෙන් පනින් කළ එක ගෙයක වසනා සත්ව කෙනෙක් නැත . ඔවුනොවුන් පෙර කළ කුශල කර්මයන්ගේ බලයෙන් පොළොව පලා පැන නැගී රුවන් ප්‍රාසායන්හී දෙව්කුමරුවන් සෙයින් පස්කම් සැපතින් පින පිනා දවස් යවන්නාහුය. 
තවද ගොවිතැන් කරන කෙනෙක් නැත. වෙළදාම් කරන කෙනෙක් නැත බඩසයින් දුක්ගන්නා කෙනෙක් නැත. රෝගපීඩා කරනකොටගෙන ජරා ව්‍යාදි මරණ යන තිලකුණු පහල වීමට විනා සදා සැපත ගෙන දෙන සෘතු ගුණයෙන් යුක්තව මද මද පවන් ඇතිවන බැවින් අමර පුරයක්සේ බබලමින් පොලොව පලා රස මතුවී ස්වයන් ජාත සහල් පැන නැගේ. එම ගොයම් පදුරු මහත්වී කුඩු නැති සහල් මුතු ඇට සේ කරල්වල හට ගැනෙයි. එම ගොයම් එක් පදුරක් කපා මැඩගත් කල්හී දෙදහස් දෙසිය දෙසැත්තෑ ගැලක් පුරා සොලසාමුනු අටලාසක් සහල් ඉතිරි වන්නේය. එම සහල් රන් භාජනයෙහිලා මැණික් උදුනෙහි තුබූ කල්හී ඉබේම බත පිසෙයි. එම සුවද බත් අමා රස වෙයි. එක උදුනකින් පිසගත් බත් මුලූ නගර වැසියන්ට ඛෙදා දුන්නත් බත් සැලිය නොසිස් වෙයි. එම සුවද අමා රසවත් බත් අනුභව කරන්නාවූ මනුෂ්‍යයෝ රන්වන් පිළිම වැනි නිරෝගී ශරීර ස්වභාවයෙන් පින පිනා දවස් යවන්නාහුය.
සංඛො නාම සො රාජා
අනන්ත බල වාහනො
සත්ත රතන සම්පුණෙණා
චකඛවත්තී මහබ්බලො

එකළදී දඹදිව මහරජ පදවිය
හොබවන චක්වත් රජකම සංඛය
ඇත් අ්හ රිය පාබල සත් රත්නය
මේ රජු මුුලූ දඹදිවටම අගනෙය

එකල්හී දඹදිව කේතුමතී නම් උත්තම රාජධානියෙහි සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් වෙයි. ඒ රජු හට එනුවර මධ්‍යයෙහි පස්විසි යොදුන් රුවන්පහයක් වෙයි. එනුවර සිව් දිසාවෙහි රුවන්මුවා සත්පවුරකින් පරික්ෂිප්ත වෙයි. තන්හි තන්හී පොළොව පලා පැන නැගී කප්රුක් වෙයි. අනේක සුවහස් ඇමතිමඩුලූු වෙයි. අනන්තාපරිමාන බලවාහන වෙයි. 

මාතා බ්‍රහ්මවතී නාම
සුබ්‍රාහ්මො නාම සො පිතා
පුරොහිතස්ස සංඛ රඤෙඤා
මෙත්තෛ්‍යයස්ස තදාභවො

බ්‍රහ්මවතීමය මව්තුමි වන්නේ
සුුබ්‍රම් බමුණ පියතුම නම වන්නේ
පුරෝහිතය සක් රජු හට වන්නේ
ඒ දෙපලට මෙත් කුමරු උපන්නේ

එකල්හී මෛත්‍රී බෝධි සත්වයන් තුසිත පුරවරයෙන් නික්ම කේතුමතී නම් උත්තම රාජධානියෙන් සංඛ නම් චක්‍රවර්තී නම් රජුහට අර්ථ ධර්මානුශාසනා කරන්නාවූ සුබ්‍රාහ්මණ බ්‍රාහ්මණයා පිණිස බ්‍රහ්මවතී නම් දෙවියගේ කුස පිළිසිදගෙන අනේකවිධ ප්‍රාතිහාර්ය පවත්වා මාතෘ ගර්භයෙන් ප්‍රසූතව පූර්ණ චනද්‍ර මණ්ඩලයසේ වැඩිවියට පැමිණ නලූුඟන පිරිවරා පොලොව පලා පැනනැගී රුවන්මුවා ප්‍රාසාදත්‍රයෙහි දවස් ගෙවන්නාහුය. 
එම ප්‍රාසාදයෙහි සියක්දිග් දිලෙන මිණි කිංකිනි රාවයෙන් කන්කලු වෙයි. නිරන්තරයෙන් වසින දිව කුසුම් වර්ෂාවෙන් සුගන්ධිතය. සියක් දහසක් නලූවෝ වෙති. අගමෙහෙසුන් චන්ද්‍රමුඛී නම් වෙයි. ඇගේ කයින් දිව සඳුුන් වහනය වෙයි. අනේක සුවහස් ඇමතිමඩුලූ වෙයි. සංඛ නම් චක්‍රවර්තී නම් රජුන් හා සමග සුවාසූ දහසක් ඇමති මඩුලූ ගොස් උපස්ථාන කොට සිටින්නේය.
මෙසේ ඒ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ එම ප්‍රාසාදත්‍රයෙහි මහත්වූ සැප සම්පත් අනුභව කරන්නාහූ අටදහසක් අවුරුදු ගිහිගෙයි වාසයකොට චන්ද්‍රමුඛී නම් බිසවගේ කුසින් බ්‍රහ්මවර්ධන නම් පුත් රුවන උපන් කල්හී තුන්පූර්ව නිමිති දැක සතරවරම් දෙවියන් විසින් මවා දක්වන ලද තපස්වී රූපය දැක මහණවීමෙහි අභිප්‍රාය උපදවා එම ප්‍රාසාදයෙහිදී සත් දිනක් පදන් වීර්ය කොට අටවන දවස ප්‍රාසාදයත් සමගම ආකාශයෙන් ගොස් බෝමැඩ සමීපයට පැමිණ ප්‍රාසාදයෙන් බැස රන් කඩුව ගෙන කෙස් වැටිය කපා ආකාශයට දමා මහා බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලද අටපිරිකර පිළිගෙන එම ප්‍රාසාදයෙහිදීම මහණවන සේක. 
මෙසේ ඒ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ශීල සංවර සාමදානය කොට ජලස්නානය කොට ශරීරය සෘතු ගන්වා චන්ද්‍රමුඛී නම් බිසවුන් විසින් පිළිගැන්වූ මිහිරි කිරිපිඩු දානය වළදා රන්තලිය උඩුගම් බලා හැර පුෂ්පපලූ පල්ලවයෙන් සැරසුනාවූ වන ලැහැඹක දිවාසිරි විහරනය කොට සවස් කාලයෙහි දෙවියන් විසින් සරසන ලද මාර්ගයෙන් නාගශ්‍රී බෝධියට පැමිණ තුන්යලක් ප්‍රදක්ෂිණා කොට කුසතන සිලා වගුරුවා එකෙනෙහි පොළොව පලා පැන නැගී අටඅසූරියන් වජිරාසන මස්තකයෙහි චතුරංග සමන්නාගිත වීර්යාධිෂ්ඨානයෙන් වැඩ හිද ප්‍රථම යාමයෙහි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය සමධිගම් කොට මධ්‍යයම යාමයෙහි දිව්‍යචක්ෂුරභිඃ ඥානය ප්‍රතිවේධ කොට පශ්චිිම යාමයෙහි චතුරාර්ය සත්්‍ය පටිච්ච සමුප්පාද ධර්ම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ස්මරණය කරමින් අරුණොත්ගමනය හා සමග සියලූ දසදහසක් සක්වල එකනින්නාද කොට දශබල වෛශාරධ්‍යය ගුණ සමූහයෙන් හෙබියාවූ සර්වඥතා ඥානය ප්‍රතිවේධ කොට තුන්ලොව උතුරවා ලොව්තුරා බුදුවන සේක.  

නමෝ කියා පළමු වරට සාතාගිර වැන්දා
සාතාගිර වැන්ද මුනිදු අපිත් වදිනවා

තස්ස කියා දෙවැනි වරට රාහු අසුර වැන්දා
ඍාහු අසුර වැන්ද මුනිදු අපිත් වදිනවා

භගවතො බුදු ගුණය කියා සිව් දෙවිවරු වැන්දා
සිව් දෙවිවරු වැන්ද මුනිදු අපිත් වදිනවා

අරහතො බුදු ගුණය කියා ශක් දෙවිදුන් වැන්දා
ශක් දෙවිදුන් වැන්ද මුනිදු අපිත් වදිනවා

සම්මා සමුබුදු ගුණගී ගයලා
සහම්පතී දෙව් මුනි පා වැදලා
පිදු ඒ සම්බුදු ගුණ සිහි කරලා
නමදිමු සිරිපා වනමල් පුදලා

මෙසේ ඒ ප්‍රතිවේධ කරනලද සර්වඥතා ඥානය ඇති ඒ මෛත්‍රී සර්වඥයන් වහ්සේ අනේක ජාති සංසාරා යනාදී ප්‍රීති වාක්‍යය පවත්වා බෝමැඩ සමීපයෙහි සත්සති යවා අටවන දවස මහා බ්‍රහ්මයා විසින් කරන ලද ආරාධනාව පිළිගෙන බරනැස ඉසිපතන්හිදී දම්සක් පවත්වන සේක.

තව්තිසා වැසි දෙවියො සැමදෙන සාදුසාදුු හඩ නගා
පින්පුරාලන පිණිස මිගදා ඉසිපතන් වෙත පිය නගා
සම්බුදුන් සිරිපා පියුම් ළග න‍ැතිර සැදැහෙන් දන ගසා
ඇසූ දම්පද බලෙන් තිලොවග සතම සැනසුනි දුක නසා

පෙන්වා පිරූ දස පෙරුමන් මහිමි බලේ
මරු පරදවා බුදුවී හිද බෝධි මුලේ
මගෙ භුදු පියාණන් බුදු බව ලබපු වෙලේ
නසමින් දුකම තුන් ලෝකය එළිය කලේ

නිලට නිල්වන් නීල දියබිදු සදිසි පොකුණුුුද ගැවසුුනේ
රතට රතුවන් සුදට සුදුවූ නොලූම් මානෙල් සුපිපුනේ
අහිංසක මුව මොණර සාවුන් වනේ අභියස ගහැසිරුනේ
මුණිදු මිගදා ඉසිපතන්හී දහම් සක්නද පෙරලූනේ

සුදුවට සිනිදු රන්කද මෙන් සමව වට
නාගස බෝදියකි මෙත්මුණි සමිදු හට
වටවට පැතිරි තණ ඇතිරියෙ පෙරින් සිට
තිලොවට තිලක සම්බුදු බව ලැබුව විට

සතට සෙත් සුව සදන වෙදැදුරු භවයෙ කෙළවර ඉපදුනේ
සිතට සැනසුම සුවය සදනා බෝධිමුල හිද වැජඹුනේ
ලොවේ පුහුදුන් සිතම රවටන මරුද වසවත් පැරදුනේ
මුනිදු කෙළෙසුන් නසා තිලොවග භුදුව සදහම් දෙසු දිනේ

අනියත නියත දුක නොදැනෙන හදවතට
මැනවින් හැදින දෙසු චතු අරි පද දමට
මෙත් මුණි අසල සැනසෙන සත වෙමු පිනට
නොමගට නොයා සිතුවිලි යා කර එකට

 තවද ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අශෝකය බ්‍රහ්මදේවය යන මහා ස්ථවිර දෙනමක් අග්‍රශ්‍රාවක වන්නාහුය. තවද පදුමාය සුමණාය යන අග්‍ර උපස්ථායිකා යුග්මයක් ඇතිව සිංහ නම් මහ තෙර කෙනෙක් අග්‍ර උපස්ථායක වන සේක. තවද සුධනය සංඝය යන උපාසකයෝ දෙදෙනෙක් අග්‍රඋපස්ථායකයන් වන්නාහුය. තවද යසවතීය සංඝාය යන උපාසිකාවෝ දෙදෙනෙක් අග්‍ර උපස්ථායිකා වන්නාහුය.
තවද මෙසේ නොයෙක් අලංකාරයෙන් විරාජමානවූ ඒ මෛත්‍රී බුදුන් පිටදී බුදුවන්නාවූ නාගශ්‍රී බෝධිියෙහි කලින් සුපිපි සුදුුසිනිඳුු රිදීකදක් හා සමාන සමවූ කදවට එක්සිය විසි රියන් පමණ වන්නේය. එපමණවූ පංච මහා ශාඛාවන් ඇති මුල පටන් අගදක්වා දෙසිය සතලිස් රියන් පමණ වන්නේය. නැගෙනහිර ශාඛාමණ්ඩලයේ පටන් බටහිර ශාඛාමණ්ඩලයට දෙසිය සතලිස් රියන් පමණ වන්නේය. දකුණු දිග ශෘඛාමණ්ඩලයේ පටන් උතුරුදිග ශාඛාමණ්ඩලයට දෙසිය සතලිස් රියන් පමණ වන්නේය. ශාඛාමණ්ඩලය වටින් සත්සිය විසි රියන් පමණ වන්නේය. අතරතුරෙහි හටගන්නාවූ එක් එක් නා කැකුලක් දොළොස් දොළොස් නැලියක් පැන් ගන්නේය. එකී එකී මල්වල නැලියක් පමණ රේණු වන්නේය. පිපිමල් රිය සකක් පමණ වන්නේය. මෙසේ ඒ මෛත්‍රී බුදුන් බුදුවන දවස පිපිමල් සියල්ලම දෙසැත්තෑ දහසක් අවුරුදු පරනොවී මෛත්‍රී බුදුන් පිරිනිවන් පානා දවස නටුවෙන් ගිලිහී ආකාශයෙන් ගොස් ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අදාහන සඳුන් දරසෑය මත්තෙහි වැටී ආදාහනය වන්නේය.
මෙසේ නොයෙක් අලංකාරයෙන් විරාජමානවූ ඒ නාග ශ්‍රී බෝධීන් වහන්සේට පිටදී බුදුවන්නාවූ ඒ මෛත්‍රී බුදුන්ගේ ශ්‍රී බුද්ධ ශරීරය අට අසූරියන්  පමණ වන්නේය. 
සුප්‍රතිෂ්ටිත පාද තලයේ පටන් දෙදන මණ්ඩලයට දෙවිසි රියන් පමණ වන්නේය. නාභිමණ්ඩලයේ පටන් අකුධාතුවට දෙවිසි රියන් පමණ වන්නේය. අකුධාතුවේ පටන් ශිරෝධාතුවට දෙවිසි රියන් පමණ වන්නේය.
 දකුණු උරමණ්ඩලයේ පටන් වම් උර මණ්ඩලයට පස්විසිරියන් පමණ වන්නේය. විදුලි දෙකක් වැනි කන්වැල් සගල් දෙක සත්සත් රියන් පමණ වන්නේය. සමණල පර්වත මස්තකයෙහි පිහිටියාවූ නිල් දෙව්දුනු බැම සඟල වැනි බැම සගල පස් පස් රියන් වන්නේය. රන් අකුස්සසක් හා සමාන උස්වූ නාසය පස් පස් රියන් පමණ වන්නේය. රන් කැඩපතක් හා සමාන සමව වටවූ ශ්‍රී මුහුණ මණ්ඩලය පස්විසි රියන් පමණ වන්නේය. එසේම බිගුවැල් දෙකක් හා සමාන අතිරක්ත තොල් සගල් දෙක පස් පස් රියන් පමණ වන්නේය. ඉතා සිනඳුු දිගු පුලූල්වූ ජිව්හා ධාතුව දස රියන් පමණ වන්නේය. එසේම මිහිගු ඛෙරයක් හා සමාන වටව උස්වූ ශිරෝ ධාතුව සත් රියන් පමණ වන්නේය. වටවට සිලිටු පිරිපුන් ශ්‍රී හස්ත දෙක සතලිස් රියන් පමණ වන්නේය. සශ්‍රීකවූ ශ්‍රී පාද දෙක තෙලෙස් රියන් එක් වියත් සාගුල් පමණ වන්නේය.
මෙසේ නොයෙක් අලංකාරයෙන් විරාජමාන වූ ඒ මෛත්‍රී බුදුන් දක්නාහුද නොදක්නාහුද කවුරුද යත්.
 මාතෘ ඝාතක පීතෘ ඝාතක අරහත්ත ඝාතක ලොහිතුප්පාදක සංඝභේදක යන පංචානන්තර්ය පාපකර්ම කොට අවීචි මහා නරකයෙහි උපන් සත්වයෝද ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් දැක්ක නොහැක්කෝමය. 
තවද දැගැබ් බෝධි ශාඛා සිදබිද දැමුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහැක්කෝමය. තවද සංඝයා වහන්සේට ආක්‍රෝෂ පරිභව බිනූ සත්වයෝද සිල්වතුන්ට බොරුබස් ඉපිදවූවෝද ධර්මයට අනාදර බිනුවෝද ඒ මෛත්‍රී බුදුුන් දැක්ක නොහැක්කෝමය.
 තවද දන්වැට ගසා කෑවෝද බුදුන් සතු  දෑ කෑවෝද දහම් සතුදෑ කෑවෝද සඝ සතු දෑ කෑවෝද ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහැක්කෝමය. 
තවද අන්‍යාගමික දෘෂ්ටිගෙන මෙලොව නැත පරලොව නැත කම් නැත කම් ඵල නැත මව් නැත පියා නැත කලාවූ කුශලාකුසල කර්මයක විපාක නැතැයි මිත්‍යාදෘෂ්ටි ගෙන ඇවිද්දාහුද ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහැක්කෝමය.
 තවද හිරුසඳු දෙවියන්ට වැසිවලා දෙවියන්ට දොස්කීවෝද අරුනලූ අසඤ්ඤ තලයෙහි උපන්නාහුද ප්‍රත්‍යයන්ත ජනපදයෙහි උපන්නාහුද පරසක්වල උපන්නාහුද නිඝණ්ඨාජීවකාදී පාසාණ්ඩයෝද ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහැක්කොමය. 
තවද මේ ලෝකයෙහි බණ අසා ශ්‍රද්ධාවන්තව දන් පිංකම් කලෝද නිත්‍ය පංච ශීලය පොහොය අෂ්ඨාංග ශීලය රක්ෂා කලෝද දාගැබ් කරවූවෝද දා කරඩු කරවූවෝද පර්ණ ශාලා භෝජන ශාලා ධර්ම ශාලාදිය කලෝද ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් දක්නාහුමය.
 තවද බෝධි රෝපණය කලෝද පුෂ්පාරාම ඵලාරාම කලෝද උයන් පොකුණු කලෝද අම්බලම් ගොතටු කලෝද පැංතලි කලෝද ඒදඩු පාලම් සෑදුවෝද ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුමය. තවද ආමිෂදාන ධර්ම දාන වශයෙන් සංඝයා වහන්සේට පුද පූජා සත්කාර කලෝද මව්පියන්ට උපස්ථාන කලෝද ගුරුවරුන්ට උපස්ථාන කලොද ඒ මතුබුදුවෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුමය. තවද ගිලනුන්ට උපස්ථාන කලෝද කුලදෙටුවන්ට උපස්ථාන කලෝද ලහබත් පොත හා බත් අවධිබත් දන්නෝත් දස පිංකිරියවත් පිරුවෝත් ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුමය.
 තවද බදු සසුන් ඇති කරවන්නට උත්සහ ගත්තෝද ධර්ම කතිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝද ධර්මාසන සැරසුවෝද රන්මල් රිදී මල් පිදුවෝද සුවදමල් සුවද සුණු පිදුවෝද බණ කියන කළ සතුටු සිතින් සාදු කාර දුන්නෝද ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුමය.
 තවද පිළිම ගෙවල් කරවූවෝද බණ පොත් ලියවා පූජා කලෝද තමන් පූජා කළ පොතේ අකුරු ගණනට චක්‍රවර්ති රාජ්‍ය සැප සම්පත් විද මතු බුදුවෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුමය.
 තවද බණ කියන්නන්ගේ පය සේදුවෝද යන සියලූ වතාවත් කොට බණ කියන්නන් ආදරයෙන් වඩාගෙනවුත් ධර්මාශන මත වඩාහිදුවා ආරාධනාකොට බණ කියවූවෝද අනුන්කළ පිං අනුමෝදන්වූවෝද ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් දැක බණ අසා මාර්ග ඵලයන්ට පැමිණ අමා මහ නිවන් දක්නට උත්සහ කටයුත්තේය. 
එසේ හෙයින් මෙම විහාරස්ථානයේ කරණලද පුණ්‍ය කර්මයන් කරනකොට ගෙන ලබන සියලුම ආනිසංසයන්ගේ හේතුවෙන් මතු නිවන් අවසාන කොට සදිව්‍යය ලෝකයෙහි සදිව්‍යශ්‍රී සැපසම්පත් හා මනුෂ්‍යය ලෝකයෙහි චක්‍රවර්තී රාජ්‍යය සම්පත් විදිමින් මතුමනාවූ අනාගත කාලයෙහි කේතුමතී නම් උත්තම රාජධානියෙහි රජ බමුණු කුළයන්ගෙන් තමන්ට අභිමත කුලයක ඉපිද මෛත්‍රී බුදුන් දැක බණ අසා මාර්ග ඵලයන්ට පැමිණ අමාමහ නිවන් දක්නට උත්සහ කටයුත්තේය.