මලක් පිපෙන්නට පෙර වියැකෙන්නට යන්නේ කෙසේ ද..?

වර්තමාන සමාජය තුළ දරු දැරියන් ආදරය කරනවා යනුවෙන් කරන්නේ කුමක්ද? කිසිදු අරමුණකින් තොර පුහුදුන් ක්‍රියාවකි. එනම් මොවුන් සිදුකරන්නේ නොයෙකුත් ඉඳුරන් පිනවීමේ කාමාශාවන් පසුපස හඹා යෑමකි. නැතහොත් කාමාතුරයන්ගේ අසීමිත ආශාවන්ට ගොදුරුවීමකි. එම ආශාවන් විඳගන්නට හැකිතාක් කල් එම ආදර සබඳතාවයන් පවතිනු ඇත. නමුත් වැඩිහිටියන් දැනගත් පසු හෝ වෙනත් ඛේදණීය ඉරණමකින්  මෙම ආදර කතාවන් නිමාවනු ඇත.
දුවේ, පුතේ, ඔබ ඔබගේ සිත තුළින් ම අවංකවම විමසා බලන්න,

ඔබ වැඩියෙන්ම ආදරේ කාටද? ඇයි මම ආදරය කරන්නේ? මේ ආදරයෙන් මට ලැඛෙන්නේ කුමක් ද? මාගේ අධ්‍යාපන කටයුතු වලට මෙය කොතරම් බාධාවක් ද? එසේනම් මෙම බාධාව මාගේ අනාගත දියුණුවට බලපානවා නේද? මා මේ කරන්නේ වරදක් නේද? මේ වරද කරන්නේ මා දැනුවත් ව නේද? සිතන්න. ඇයි මට මේ වරදින් මිදෙන්න බැරි. මට මේ හැමදේම හැමදාම විඳින්න පුළුවන් මගක් සකස් කරගත යුතුයි නේද? ජීවිතයේ හැම සැපයක් ම හැමදාම එක විදියට විඳින්නට හැකි ද? මේ කරුණු සෑම දුවෙකුම පුතෙකුම කල්පනා කරන්නේ නම් තමා කරන්නේ නිශ්ඵල කාර්යයක් බව ඔවුන්ටම අවබෝධ වනු ඇත.


මාර්ගයක් නිසි පරිදි සකසා ඇත්නම් ඒ මග තුළ තමන්ට අවශ්‍යවනතාක් දුර කිසිදු බාධකයකින් තොරව ගමන් කළ හැකිය. එහෙත් ඒ මගෙහි ඇති කුඩා වලගොඩැලි නිසා මදක් ඔබගේ ගමන අඩපණවනවා මෙන්ම ගතට ද වෙහෙස මහන්සියක් දනවයි. එසේ නම් අප පළමුව කළ යුත්තේ අප ගමන් ගන්නා මඟ නිසිපරිදි සකසා ගැනීමයි. දරුවනි, එසේනම් ඔබ ඔබගේ ගමනේ සාර්ථකත්වය කරායාමට අද සිටම උත්සාහ කරන්න. ඔබේ ගමන් මග සෑදීමේ මිතුරා ලෙස ඔබේ දැනුම යොදාගන්න. එවිට ඔබට මැනවින් ඔබේ ඉලක්කය කරා යාමට හැකිවනු ඇත. එය කිසිවකුටවත් වලකාලීමට ද නොහැකිවනු ඇත.


ඔබට අවශ්‍ය ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය ඔබ තුළින් ම ලබාගන්න. දරුවන් ලෙස ඔබ ආශා කරන්නේ කුමක් සඳහා ද යන කාරණය ගැන සිතන්න. ඒ ආශා කරන සැප සම්පත් වෙනම ලියා තබාගෙන වෙන වෙනම එම සිතුම් පැතුම් ඉටුකර ගන්නා ක්‍රමවේදයක් තමන් විසින්ම සකසා ගන්න.


1.    ලස්සනට ශරීරය තබාගන්න.
2.    වෙනත් අයගෙන් බැනුම් නොඅසන්න.
3.    ප්‍රශංසාවට ලක්වන්න.
4.    අන්‍යයන්ට වඩා දැනුමින් උසස් ලෙස සමාජයේ හැසිරෙන්න.
5.    පිරිසක් මැද නායකයෙකු වන්න.
6.    තමන්ගේ අවශ්‍යතා ලබාගන්න.
7.    දෙමාපිය ආදරය ලබන්න.
8.    සමාජය තුළ අවංක පුද්ගලයෙකු වන්න.


මේ ආදී සෑම බලාපොරොත්තුවක්ම ඉටුකරගැන්මට තමා විසින් උත්සාහ කළ යුතුය. තමාගේ වැඩකටයුතු මැනවින් ඉටුකිරීම තුළින් මේ සියලූ බලාපොරොත්තු නිරායාසයෙන් ම ඉටුවනු ඇත.


සිදුහත් කුමාරයා පිය රජතුමා වෙත ගොස් විමසුවේ කුමක් ද?


පිය රජතුමනි, " ඔබ මට රජ මාලිගයේ සිටින්නට බලකරනවා නම් මට ලබා දිය යුතු සැප සම්පත් ඇත. ඒ සැප සම්පත් ලබාදීමට ඔබ වහනසේට හැකිනම් මම සැමදාම මේ මාලිගයේ රැදෙන්නම්. එසේ නොහැකි නම් මම මේ මාලිගය හැරදමා සැනසුම සොයාගෙන යනවා. එවිට සුද්ධෝදන රජතුමා ඔබට අවශ්‍ය කුමන සැපයක් දැයි විචාල කල් හි වයස්ගත නොවී මේ තරුණ රූ සපුව මේ අයුරින්ම තබාගෙන නොමැරී සිටින්නට මට අවස්ථාව සලසා දෙන්න. එසේ කළ හැකිනම් මම මේ රජ මැදුර තුළ හැමදාම රැදෙමි. මෙය අසා සිටි සුද්ධෝදන රජතුමා ප්‍රකාශකර සිටියේ පුතනුවනි, මට ඔබ ඉල්ලන සැප සම්පත් දෙන්නට හැකියාවක් නොමැත. ඔබට ඒ නිසා රජසැප හැර යන්නට අවසර දෙමි" යනුවෙනි.
එය ඇසූ සිදුහත් කුමරු රජසැප හැරදා ගියේ තමාගේ විමුක්තිය සොයාගෙන අනුන් ද එම විමුක්ති මාර්ගයට එක්කර ගැනීමේ පරමාර්ථයෙනි. උන්වහන්සේ සියලූම සැප සම්පත් හැරදමා ගොස් ලෝකයේ පරම සත්‍යය අවබෝධ කරගෙන අන් අයටත් එම සත්‍යය අවබෝධ කොට දී සැනසුම උදා කලේ නම් අපට මේ ජීවිතයේ සැනසීම සතුට ලබාගැනීමේ පරමාර්ථයෙන් අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් ඉටු කරගැනීමට හැකියාවක් තිබිය යුතුය. අප පසුබට වී ඇති නිසාවෙන් එය කරගන්නට නොහැකි වී ඇත.
 මේ ලෝකයේ දිවි ගෙවන සෑම පුද්ගලයෙකුම කටයුතු කරන්නේ තමන්ගේ විමුක්තිය උදාකර ගැනීමේ පරමාභිලාෂයෙනි. එහෙත් ඔවුන් තමන්ගේ විමුක්තිය උදාකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නවාද? මෙම විමුක්තිය උදාකර ගැනීමට ඔවුන් කුමක් කරන්නේ ද? අප අපගේ විමුක්තිය උදාකරගැනීමෙහිලා ආත්මාර්ථකාමී විය යුතුය. නමුත් එය අන් අයට හිරිහැරයක් නොවිය යුතු අතර අන්‍යෝන්‍ය සහයෝගය ද තිබිය යුතුය. මේ ආදී සෑම කරුණකින් ම ගෙන හැර දක්වන ලද්දේ දෙමාපිය සෙනෙහස දරුවන් කෙරෙහි කෙසේ බලපාන්නේ ද යන කරුණය. එම කාරණය මෙන්ම තවත් බලපාන ගැටළු රාශියකි. ඒ අතරින් ප්‍රේමය යන කරුණ පිළිබඳව අප විශේෂයෙන් විමසා බැලිය යුතුය.
කොසොල් රජුගේ අග්‍ර මහේසිකාව වූ මල්ලිකා දේවිය සමග පිළිසඳරක යෙදෙන කොසොල් රජු ඇයගෙන් විමසන්නේ ,


අත්ථී නු ඛො තෙ මල්ලිකෙ
කො චඤෙඤ අත්තනා පිය තරොති
                                         (කෝ:සං)


මල්ලිකා වෙනි ඔබට මේ ලෝකයේ ඔබ හැර පි්‍රයවන තවත් කෙනෙක් ඇත් ද?


 නත්ථී ඛො මේ මහාරාජ
ඛො චඤෙඤ අත්තනා පිය තරොති 
                                 (කෝ:සං)


මහරජතුමනි මට මේ ලෝකයේ මාතරම් ප්‍රිය වූ වෙන කිසිවෙකුත් නැත.
           
මෙය අසා කොසොල් රජතුමා මල්ලිකා දේවියගේ දැනුම පිළිබඳව මහත් සේ සතුටු විය. නමුත් කොසොල් රජතුමා බලාපොරෙත්තු වූ පිළිතුර එය නොවේ. එය කුමක්ද යන වග ඔබම වටහා ගත යුතුය. මේ ආදී කරුණු අවසානයේ දී කොසොල් රජු බුදුන්වහන්සේ වෙත එළඹ එම කරුණු බුදුන් වහන්සේට හෙළි කිරීමෙන් අනතුරුව බුදුන් වහන්සේ මෙම ගාථාව දේශනා කොට, මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයත් මිනිසුන්ගේ ආශාවන් පිළිබඳවත් පැහැදිලි කළ සේක.


සබ්බා දිසා අනුපරිගම්ම චේතසා
නේවජ්ජගා පිය මත්ථනා ක‍වචි
ඒවං පියො පුථු අත්තා පරේසං
තස්මා න හිංසෙ පරං අත්ත කාමොති 
                                   (කෝ:සං)


සියලූ දිශාවන්හි මැනවින් විමසා සොයා බැලූවත් තමන්ට වඩා ප්‍රියවන කෙනෙකු සොයාගත නොහැක. එසේ හෙයින් තමන් කවරෙකුට හෝ ප්‍රිය කරන්නේ නම් ඔහු තමන්ට හිංසා පීඩා මෙන්ම අවැඩදායක දේ කරගැනීමෙන් වැලකෙයි.


මෙය බුදුන් වහන්සේගේ දේශනාවක් බැවින් එය විමසා බලන කල්හි නිවැරදි යැයි සිතිය හැක.
මල් කැකුළු වන් හය හතර නොතේරෙන වියෙහි දිවිගෙවන අපේ දූ දරුවෝ හිරු රැස් වැටී එම මල් කැකුළු විකසිත වන්නට පෙර මහා කුණාටුවකින් විනාශ වී යන්නාක් මෙන් වත්මන් සමාජය විසින් ආදරය නැමති මෝහාන්ධකාරයෙන් දෑස් අන්ධ කොට අඳුරු මාවතක අතරමං කොට දමා ඇත. ඔවුනට නිසි මඟ පෙන්වන්නේ කවුරුන්ද ඒ නිසි මග පෙන්වන්නේ කෙලෙසකද? යන්න අප විසින් විමසා බැලිය යුතුව පවතී.


ආදරණීය දුවේ, පුතේ,  ඔබ තවමත් පුංචි නෙළුම් මල් පොහොට්ටුවක් පමණි. එම නෙළුම් පොහොට්ටුවට හිරු රැස් වැටී සුපිපුන කල ලොව සෑම සත්වයෙකුගේම සිත තුටු කරන්නේ යම් සේද?  එපරිද්දෙන් ම ඔබ කුඩා කලදී නිවැරදි ලෙස දිවි ගෙවුවහොත් අනාගතයේ සමස්ත ලෝකයටම ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස අනුශාසනා  හා අවවාද කරන්නට හැක. එයට ඔබේ ස්ත්‍රී / පුරුෂ භේදය බාධාවක් නොවනු ඇත. අවශ්‍යවන්නේ ඔබ සතු කරගන්නා දැණුම පමණි. එය ඔබ ඔබේ උත්සාහයෙන් ම ලබාගත යුතුය. ඒ සඳහා ඔබ කල යුත්තේ එකම කාර්යයකි. ඔබේ අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියන් ඉගෙනීමට අවශ්‍ය කරන සියළුම අවශ්‍යතා සපයා දෙනු ඇත. එසේම ඉගෙනීම් ක්‍රියාවලිය කරන්නේ කෙලෙසදැයි යන කාරණය මෙන්ම යායුතු මඟ හා අත්හල යුතු මඟ ද ගුරුමාපියවරුන් විසින්  ඔබට නිසි ලෙස පහදා දෙනු ඇත. එසේනම් ඔබට පැවරී ඇති කාර්ය කුමක්ද? මැනවින් ඉගෙනීමේ ක්‍රියාවලියේ යෙදීම ම පමණකි. එසේනම් ඔබ එම කාර්යයයේ නිරත නොවන්නේ කුමක් නිසා ද? එම කාර්යයේ නොයෙදෙන්නට ඔබට බලපා ඇති ගැටළු කුමක්ද?

පැළයක් සිටවූ පසු දින සති මාස අවුරුදු ගෙවී පළදරන්නට බොහෝ කාලයක් ගත වන්නේ යම්සේද? එයට හේතුව නම් එම ගසෙන් සාර්ථක ඵලයක් හට ගැන්මට පරිණතවීම අත්‍යවශ්‍ය බැවිනි. එසේ නොවන්නට පැලයක් සිටවු පසුව ඉන්පසු දිනම එයින් ඵල දරනු ඇත.

දරුවනි ඔබද එලෙසමය. ඔබ එම කාරණය කුමක් නිසා නොසිතන්නේ ද? එසේ නොවේනම් උපන් දිනයේ පටන් ඔබ සෑම කෙනෙකුම දණගාමින් හා බඩගාමින් මාපිය තුරුළට වී සුරතල් වන්නේ කුමක් නිසාද? දෙමාපියන් දුක්විඳ මහන්සි වී සියලූ අවශ්‍යතා සපුරාලන්නේ කුමක් නිසාද? එසේ නොවන්නට කුඩා කල සිටම ඔබව අවාහ විවාහ කර දී නිදහස් වන්නට තිබුණි. එසේ නොකරන්නේ එක් හේතුවක් මතය. එය මැනවින් සිතා විමසා කටයුතු කිරීම ඔබ සතුයි.



Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::