Friday, March 23, 2012

තමන් වැළපෙන දෙස බලා ………

තමන් හිනැහෙන දෙස බලා සිනාසෙන්නට අය සිටියත්, තමන් වැළපෙන දෙස බලා සිනාසෙන්නට මිසක් වැළපෙන්නට කිසිවෙකුත් අප අසල නැත. එය ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින්ම දේශිතය. තමන්ගේ ඇසුරු කිරීම සඳහා තමන්ගේ ගුණ යහපත්කමට අනුකූල වූ මිතුරෙකු හමු නොවන්නේ නම් තමන් තනිවම වාසය කිරීම ඉතාම යහපත් බව දේශනාකොට ඇත. එහෙත් එය මැනවින් සිතෙහි දිවි ගමන තුළ හැසිරෙන නිසාම සමහර යහළු මිතුරන් අතර දිවි ගෙවා යහළුවන් සමඟ සතුටින් හිඳ දුකක් ඇති වූ සඳ තනිවම වැලපෙන්නට හේතු සාධක යෙදී ඇත. මෙය ස්වභාව ධර්මය විසින් අප සියළුම දෙනාට ලෝකයේ අනිත්‍යතාවය මැනවින් පෙන්වාදෙන්නටම නිර්මාණය කරන ලද්දකි.


අප මෙලොවට දායාද කරන ලද්දේද ස්වභාව දහම තුළින්මය. එසේම අපව පාලනය කරන ලද්දේද ස්වභාව දහම විසින්මය. එය දැන මැනවින් නැණසින් හා මනසින් කටයුතු කරන්නේ නම් අපගේ දිවිමග සරු කර ගන්නට ඇති හැකියාවද දුලභ නොවේ.

" ස්වභාව දහමට ලොවේ අවනත නොවන කිසිවක් නම් නැති "

මේ ගී පදයට අනුකූලව ජීවිතය ගැන විමසන කල්හි අප සියලූම දෙනා ස්වභාදහමට නතු වී ඇත්තේ කුමක් නිසාද? අප ස්වභාව දහම සතු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ගෙන් යුතුව මැනවින් නිර්මාණය වන රූපයක්ම පමණක් නිසාම නොවේද? එය එසේම නොවේද? මෙය අසත්‍යයක් යැයි හෙලි කරන්නට හැකි දාර්ශනිකයකු තවම මේ ලෝකය තුළ පහළ වී නැත. එය මැනවින් සොයාගෙන අපට දේශණා කරන්නට පහළ වුණු එකම දාර්ශනිකයා හා ප්‍රඥාවන්තයා මෙන්ම එකම මානව විද්‍යාඥයා ලොව්තුරා බුදුපියාණන් වහන්සේම බව අප දනිමු. එහෙත් එය නොදන්නා අයුරින් අප කටයුතු කරන්නේ ඒ ගැන වැඩි යමක් අප විසින් නොවිමසන නිසාම නොවේද? අප මේ ලෝකය ගැන විමසන්නේ කුමක්ද? නොවිමසන්නේ කුමක්ද? සංසාරගත ජීවිත කාලය තුළ අප විසින් කරන ලද කුසලාකුසල කර්මයන්ගේ එකතුවකින් නිර්මාණය වූ සංස්කාරයන් නිසා හටගත් විඤ්ඤාණය මුල් කරගෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේ එකතුවකට එය මුසු වී මේ ජීවියා නිර්මාණය වී ඇත. මෙය මැනවින් තේරුම් ගන්නෝ කවුරුන්ද? අප ඇයි මෙය නොසිතන්නේ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ තරම් ජීවිතය යනු කුමක්දැයි මැනවින් විග්‍රහ කළ මහා දාර්ශනිකයකු මෙලොව තවත් පහළ වී නොමැත. ලෝකය නිර්මාණයවන්නේ කෙසේද? ඒ තුළ සත්වයින් පහළවන්නේ කෙසේද? ඒ සත්වයින්ගේ සතුට හා දුක තීරණය වන්නේ කෙසේද? මේ සියල්ලම විඳවන මනුෂ්‍ය රූපය වේවා, සත්ව රූපය හෝ වේවා මේ සියල්ලම නිර්මාණය වී ඇත්තේ කවරාකාරයෙන්ද යන වග මැනවින් දේශිතව ඇත. ඒ දේශිත කරුණු කාරණා මැනවින් හදාරා අපගේ දිවිය නිවැරදි අතකට යොමු කළ යුත්තේ අපගේ මෙන්ම අන්‍යන්ගේද යහපත පසක් කරලමිනි. එසේ නොවන්නේ නම් මේ දිවියේ කෙළවරක් දැකිය හැකි නොවන්නේය.

සතුට සැනසුම හදේ රඳවමින් දිවි ගෙවන්නේ යැයි සිතන අප සැම ඒ සතුට කවමදාවත් ලබන නියාවක් දකින්නට නොහැක. විටක සතුටක් ලැබුනත් එහි අවසානයේ සුළු හෝ දුකක් විඳින්නට සිදුවනු ඇත. ඒ මන්දැයි අප මැනවින් දත යුත්තේ මෙලෙසිනි. සතුට දැනෙන සෑම මොහොතකම අප දුක ගැනද පවසමු. එසේම ස්වභාව දහමට අනුකූලව කටයුතු කරන්නට පෙළඹෙමු. ඒ තුළින් අපගේ දිවියේ මනා ආලෝකයක් මිසක් අඳුරක් දැකිය නොහැක.

සසර මහා බියකරුයි නුවණැසින් යා යුතුයි. එලෙසම අප යන්නේ නම් සැප සතුට මෙන්ම දුකද ඒ ලැඛෙන අයුරින් ඒ ඒ අවස්ථා තුළදී භුක්ති විඳිය යුතුයි. එය අපගේ දිවියේ එක කොටසක්ම යැයි සිතිය යුතුයි.

ඒ අයුරින් ස්වභාව දහම තුල මැනවිනි නිර්මාණය කරන ලද සත්වයා සමාජය තුළට දායාද කරනුයේ ඔහු විසින් සිදුකරන ලද සියලූම ක්‍රියාකාරකම් වලට අනුකූලව ඔහු විසින් ඒ දිවිය තුළදී විඳිය යුතු සියළුම වරප්‍රසාදයන්ද පවරමිනි. ඒ අනුව මෙලොව උපත ලබන සත්වයා තමන් සතු වූ ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ පංච ඉන්ද්‍රයන් මුල් කරගෙන හටගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන විෂය රූපයන්ට ගොදුරුවන්නට නොයෙකුත් මානසික මට්ටම් තුළ හිඳ දිවිගෙවන්නට උත්සාහ දරයි. ඒ දරන උත්සාහයන් යම් යම් අවස්ථාවන් තුළදී සාර්ථක වීම නිසා තමන් සතුවන මනස තුළ තෘප්තියක් හටගනී. එවිට නොයෙක් ගැටීම් නිර්මාණයවන්නට හේතු සාධක ඇතිවෙයි. අප සියල්ලෝම නිතරම පංච ඉන්ද්‍රියන්ට ගොදුරුවන්නේ යමක්ද එය මමත්වයෙන් යුතුව ග්‍රහණය කරගන්නට පෙළඹෙයි. එහෙත් මෙයත් මෙවැනිම සතර මහා භූතයින්ගෙන් නිර්මාණය වුනු රූපයක්ම පමණක් බව කිසිදු මොහොතක සිතන්නේ නැත. එයද යම් මොහොතක වෙනස්වීමේ තත්වයකට පත්විය හැක. එවිට මගේ සිතට දුක කියන ධර්මතාවයට මුහුනපාන්නට සිදුවෙයි. එවිට ඒ දුක්මුසු ලීලාවෙන් මේ සමාජය මැද හෝ මා සතු යහලූවන් සමඟ සිටින විට ඔවුන් මා දෙස බලා සිනාසෙන්නට හෝ මට නින්දා කරන්නටද පෙළඹෙයි. ඒ මන්ද යත් මා දුක්මුසුව සිටින නිසාවෙනි. ඒ නිසා ඔවුන් තුළ මනා අවබෝධයකින් තොරව හටගත් ප්‍රීතිය තවත් වැඩිදියුණු කරන්නට මා යා යුතුද? නැත. මම ඔවුන්ට මේ සියල්ලේම වෙනස් වීමේ ධර්මතාවය සහ මමය මාගේය කියා දෙයක් මෙලොව තුළ නොමැති බවත් මැනවින් පසක් කරලන්නට පංච ඉන්ද්‍රියන්ට ගොදුරුවන ප්‍රසාද රූපයන්ගේ අනිත්‍යතාවය මැනවින් දැක ඒ පසුපස නොගොස් තමන් මේ සසර මග නිවැරදිව දිවිගෙවන්නට උත්සාහ දැරිය යුතුයි. එවිට අප දෙස බලන පිරිස මහා විශාලයි. අපව වට්ටන්නට සහ අපව මුන ගැසෙන්නට කටයුතු කරන පිරිස මහා විශාලයි. ඒ මන්දයත් ගල් කැටයක් විසිකළ දිශාව බලා එදෙසට දුවනා සුනඛයකු පරිද්දෙන් නොවේ එය විසි කලේ කවුරුන්ද යන වග විමසමින් ඒ මගට පියමනින සිංහයකු පරිද්දෙන් කටයුතු කන නිසායෙනි. අප හැම මොහොතකම සිංහයෙකු පරිද්දෙන් නිර්මාණය වන්නට උත්සාහ දැරිය යුතුයි. කිසිදු මොහොතක සුනඛයෙකු පරිදි ඇසෙන ඇසෙන ශබ්ද පසු පස හඹාගොස් හති වැටෙන්නට නොයා යුතුයි.

සසර මග මහා බියකරු ස්වභාවයක් උසුලන බව අපි දනිමු. ඒ බියකරු ස්වභාවය ඇති කරගෙන ඇත්තේද අප විසින් සිදුකරන ලද වැරදි ක්‍රියාකාරකම් තුලිනි. අප වැරදි ක්‍රියාවන් සිදුකරන තාක්කල් දුක් කම්කටොළු විඳින්නට සිදුවෙයි. එවිට අන්‍යයයෝ අප විඳවන දෙස බලා හිනැහෙයි. එහෙත් අප නිවැරදි කාර්යන්හි නියැලී සතුටින් දිවි ගෙවයි නම් එදෙස බලා සුසුම් හෙලන්නෝද ඊර්ෂ්‍යා කරන්නෝ මෙන්ම ක්‍රෝධ කරන්නෝද බොහෝය. එය පෙරට යන්නාට ඉනිමගක් තනන්නාක් වැනිය.   





No comments:

Post a Comment