Wednesday, March 14, 2012

කෝප වී සිතේ ප්‍රකෘති ස්වභාවය වනසාලන්නා

අප දිවිගෙවන කාල පරාසය තුළදී නොයෙකුත් ගැටළු සහගත මානසිකත්වයන් අප හමුවේ ගොඩනැගෙයි. ඒ ගොඩනැගෙන සෑම මොහොතකම කිසිදු අරමුණකින් තොරව අප කෝපයට පත්වන්නේ නම් එතනදී අපගේ චින්තන ශක්තිය සහමුලින්ම වියැකී යන්නේය. එයට හේතුව මන්දයත්? අප සියලූම දෙනා සෑම කාර්යයක් කරන්නටම මූලික අඩිතාලම සකසා ගනු ලබන එකම ආයුධය වනුයේ සිතයි. එවැනි බලගතු වෙන කිසිදු විද්‍යාඥයකු විසින් මුළු විශ්වය තුලින්ම තවමත් සොයාගෙන නොමැත. එහෙත් ඒ පිළිබඳව තුන් ලෝකයටම අසහාය ඇසක් බඳු වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් මැනවින් දේශනාකර ඇත. අප හමුවට නොයෙකුත්  අවස්ථාවන් තුළදී නොයෙක් ගැටළු පැන නැගුනත් ඒ ගැටළු හමුවේ අප කෝපවිය යුතුද? නැත කිසිදු මොහොතක කෝපවිය යුතු නැත. එයට හේතුව නම් ඒ ගැටළුව සමඟම පිළිතුර ඇති නිසාවෙනි. බුදුන් මග යන පිරිසක් අයුරින් හැඩගැසෙනා අප උන් වහන්සේගේ දහමට අනුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු මොහොතක කෝපවිය යුතු නැත. බුදුන් වහන්සේ හමුවට නොයෙකුත් දුනුවායන් මෙන්ම නාලාගිරි ඇතු හා දෙව්දත් පැමිණ නොයෙකත් තාඩන පීඩන කරන්නට කෙතරම් උත්සාහ දැරුවාද? එහෙත් ඒ උත්සාහයන් ඔවුන්ට සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුනාද? නැහැ, ඇයි ඒ? බුදුන් වහන්සේ කිසිදු අයුරකින් කෝප නොවුන් නිසාවෙන්ම නොවේද?

දෙව්දත් තෙරුන් බුදුන් හමුවට දුනුවායන් මෙන්ම නාලාගිරි ඇතු පිටමන් කළ පසු උන් වහන්සේ ඒ බව මැනවින් දැන හැඳින මහා එඩිතර සිංහයෙකු පරිද්දෙන් ඉදිරියට වැඩියේ කුමන අවියක් තමන් සතු කරගෙනද? ඉවසීමේ ගුණය තබාගෙන නොෙවිද? ඒ නිසාම උන් වහන්සේට මහා දැවැන්ත තිරිසන් සතෙකු දමනය කිරීමේ හැකියාව ලැබුනේය. එසේ නොවන්නට යම් යම්  අවස්ථාවලදී මහා කෝපයෙන් දඟලන ඇතුන් දමනය කරන්නට ඇත් ගොව්වන් සතු හෙන්ඩුවකටවත් හැකි වන්නේද? එසේ කිරීමටවත් නොහැකි අවස්ථාවක බුදුන් වහන්සේ අභියස ඒම හා සද්දන්ත හස්තිරාජයා දණ නවා තෙරුවන් සරණ ගියේ කුමක් නිසාද? බුදුන් වහන්සේ කෝප නොවී මෛත්‍රියෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ නිසාම නොවේද? අප සියලූම දෙනා මේ ලෝකයට උපත ලබන්නේ ලෝකය තුළ දිවි ගෙවීමට අවශ්‍ය කරන්නේ යම් අවියක්ද, ඒ සියලූම අවි ආයුධ අපට ඉබේටම සම්පාදනය වීමෙනි. එහෙත් ඒ අවි ආයුධ අප සතුව තිබුණත් පරිහරණය කිරීමට නොදන්නා නිසා නොයෙක් දුක්කම් කටොළු අතර සිර වෙන්නට සිදුව ඇත.  

ආලවක යක්ෂයා මහා විලාප තබමින් බුදුන් වහන්සේ වැඩ සිටින තැනට පැමිණ කීෙවි කුමක්ද? මගේ දිව්‍ය විමානයෙන් එළියට පලයන්˜ යන්නයි. බුදුන් වහන්සේ එය අසා එළියට ගියේ නැතිද? ඒ අයුරින් තුන්වරක් ප්‍රකාශ කළ ආලවකයාගේ සිතේ තිබුණු කෝපය යම්තාක් දුරට මකාදමා උන් වහන්සේ ඔහුගේ සිතේ ස්වභාවය තේරුම් ගෙන එය මුල් කරගෙන ඔහු ලවාම නැණස පාදවන්නට කටයුතු කළේ නැද්ද? එතනදී උන් වහන්සේ පරිහරණය කළ අවිය ඉවසීම නොවේද? එවිටම බුදුන් වහන්සේ ඒ අවස්ථාවේ දී ඔහු සමඟ කඩු කිනිසි අතට ගෙන ගැටෙන්නට සැරසුනා නම් කුමක් සිදුවේවිද? කිසිදු කාර්යයක් මැනවින් ඉටුකර ගැනීමේ හැකියාවක් නැතිව පරාජය වන්නට තිඛෙන ඉඩකඩ මහා විශාලයි නේද? අප සියලූම දෙනා ඒ බව මැනවින් තේරුම්ගත යුතුමයි. එය තේරුම් ගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. අප සියලූම දෙනා සැබෑ මනුෂ්‍යයෝම වෙමු. මනා ලස්සන ශිෂ්ඨාචාරයකින් පරිපූර්ණ මනුෂ්‍යන් පිරිසක් ඒ අයුරින්ම කටයුතු කරන්නේ නම් මනුෂ්‍යය ලෝකයම වුනත් බබළවන්නට හැකිය. අප සතු ශිශ්ඨාචාරයට අනුකූලව එකදු පුද්ගලයකු හෝ කටයුතු කරයි නම් ඒ දෙස බලා අන්‍යයෝද හැඩ ගැසෙන්නට වෙර දරයි. එය ප්‍රායෝගිකවම ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් මුළුමහත් විශ්වයටම පසක් කර දෙන ලදී.
    
සසර මග බියකරුයි, නැණසින්ම යා යුතුයි. එවිට මේ සසර සයුරින් එතෙර වන්නට හැකිය. එසේ නොකරන්නේ නම් අප සියල්ලෝම මේ සසර සයුරේම ගිලි ගලී එහෙට මෙහෙට පීනමින් රැදෙන්නට වෙයි.

ඔබ හමුවට ගැටළුවක් පැමිණි පසු ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ ඒ ගැටළුව සම්බන්ධයෙන් යමක් හඳුනනවාද? එසේම ඒ ගැටළුව පැන නැගෙන්නට අවැසි යම් ක්‍රියාවක් සිදුකර ඇතිද? තමන් එයට සම්බන්ධ වී ඇත්තේ කවරාකාරයෙන්ද? මේ ආදී වශයෙන් අප විමසන කල්හි මෙම ගැටළුවට සම්බන්ධ වන කිසිදු ක්‍රියාවක තමන් නියැලී නැති බව තමන්ට  වැටහෙන්නේ නම්, මෙම ගැටළුව කවුරුන් විසින් කරන ලද ක්‍රියාවක් නිසා පැනනැගෙන්නේදැයි යන්න ඔබ නිහඩව බලා හිඳ තමන්ගෙන්ම විමසන්න. එවිට තමන්ගේ නිර්දෝෂී බව තමන්ටම වටහා ගත හැකිය. එහෙත් යම් යම් අවස්ථාවන් තුලදී අපට යමෙක් නොයෙක් පරුෂ වචනයන්ගෙන් දෝෂාරෝපණය කරන්නේ නම් එවිට අප කෝප විය යුතුද? නැත. ඒ ඔහුගේ මනස තුළ පවතින පහත් ගතිපැවතුම්වල ප්‍රතිරූපය මවා පෑමකි. එයට අප කෝප විය යුතු නැත. තවකෙකුගේ වරදක් නිසා අප කෝපවන්නේ නම් අපද ඒ තත්වයට පත්වනු ඇත. ඒ බව දැන, අන්‍යයන් අපට බැනවැදුන පමණින් අප සතුව වරදක් ඇතත් නැතත් අප කෝප වී පෙරලා ඔහු සමඟ ගැටෙන්නට ගියහොත් අපද ඔහු වැනිම පුද්ගලයෙකු යැයි සමාජය තුළ ප්‍රතිරූපයක් ගොඩනඟා ගත්තා නොෙවිද? එසේනම් අප විසින් අපටම වැරදි ප්‍රතිරූපයක් ගොඩනගා අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීමට කැමතිවන්නෝද? අප එය අගය කළ යුතුද? නැත. අප කිසිදු මොහොතක එය අගය කළ යුතු දෙයක් නොවේ. එසේනම් අප අගය කළ යුත්තේ කුමක්ද? කෙනෙකු අපට රළු පරළු වචනයන්ගෙන් පිරිසක් මැද බැන වදින විට අප සතුව වරදක් ඇතත් නැතත් සිනහ වී නිහඩවම එය ඇසුනත් නෑසුනාක් මෙන් සිටීමේ ගුණය තුලින් ඒ මොහොත තුළම නිර්මාණය කරන ලද මනා පෞර්ෂයකින් හෙබි ප්‍රතිරූපයයි. බුදුන් වහන්සේ සමීපයට විත් අක්කෝසක බමුණා කෙතරම් අශෝබන අයුරින් බැන වැදුනද? නමුත් බුදුන් වහන්සේ එයට දෙසවන් පෑවේ නැත. උන් වහන්සේ මහා එඩිතර සිංහයකු විලාශයෙන් එය ඇසුනත් නෑසුනාක් මෙන් හිඳ හයට අවැසි පිලිතුර දී උන් වහන්සේගේ කාර්යයෙහි නියැලූනි. අපද එය දැන සුනඛයන් අතර හිවලූන් වන්නට හෝ සුනඛයන් වන්නට නොගොස් සිංහයන් වන්නට උත්සාහ දරන්නේ නම් එය අප සතු කර ගන්නා මහා ශක්ති සම්පන්න බලයකින් යුතු ආයුධයකි.
   
තමන් සතුව පවතින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා දී සිව්බඹ විහරණයන්ගෙන් තමන්ට මූලිකව උපකාරයක් කරගන්නේ නම් අනතුරුව ඒ උපකාරය මුළුමහත් ලෝකයටම උපකාරයක් පිණිස ඉබේටම කෙමෙන් කෙමෙන් නිර්මාණය වනු ඇත. ශරීරය බබලවන්නට නම් රන් රිදී, මුතුමැණික් වලින් සැරසිය යුතුය. එසේම ජීවිතය බබලවන්නට නම් ගුණ යහපත්කමින් පරිපූර්ණ වියයුතුය. එවිට රන් රිදී, මුතු මැණික් ආභරණ වලටද වඩා මහා බැබලීමක් අපගේ ශරීරය තුලින් පැන නගිනු ඇත. එයට නිදසුනක් ලෙස ලොව්තුරා බුදුන් වහන්සේ දෙස බලන්න, සවනක් ඝණ රශ්මිධාරාවන්ගෙන් උන් වහන්සේ බැබලූනේ නොයෙකුත් ආභරණ පැළදූ නිසාවෙන්ද? නැහැ නේද. උන් වහන්සේ සතුව පැවති ගුණදහම් නිසාම උන් වහන්සේට එය ස්වභාව දහමින් පිදූ දායාදයක් නොවේද? මේ සියල්ල අප නැණසින් සිහිපත් කළ යුතුය. එවිට අප කළ යුතු හා නොකළ යුතු කුමක්ද යන වග අපගේ මනසට නිවැරදිව සැලසුම් කර දෙනු ඇත. අනතුරුව ඒ සැලසුමට අනුව වැඩකටයුතු කිරීම අප සතුව පවතී.

අප සියලූම දෙනාගේ උත්පත්තියේදී අප සතුව පැහැපත් රූ සපුවකින් හෙබි ආලෝකයක් විහිදුනි. ඒ ආලෝකය නිසාම දකින අය ප්‍රකාශ කරන්නේ  පින්වත් දරුවෙක් කියා නොවේද? ඒ පැහැපත් භාවය අපට ලැබුනේ කොහොමද? අප උත්පත්තියෙන්ම මෙලොවට රැගෙන ආ පිරිසිදු සිතේ ස්වභාවය නිසාම නොවේද? කුඩා අවධිය තුළදී අපගේ සිත ප්‍රකෘති ස්වභාවයෙන්ම පවතී. එහෙත් අනතුරුව දෙමව්පියන්ගේ සහ අසල්වැසියන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් වලින් පීඩිත තත්වයට ලත්වන පුංචි මනස තුළ කෝපය ජනිත වී සිතුවිලි ගැටීම නිසා ශරීරය දුර්වර්ණ වනු ඇත. ඒ ලේ කෝප වීම නිසා බව අප සියල්ලෝම මැනවින් දනිමු. එසේ නම් අප කළ යුතු කුමක්ද? අපට ස්වභාව දහමෙන් ලැබුනු විශිෂ්ඨ දායාදයක් බඳු සිත ප්‍රකෘතිමත් භාවයෙන් පවත්වාගෙන සියලූ අභිමතාර්ථයන් මැනවින් පසක් කරලමු.

                                                                                               

No comments:

Post a Comment