Wednesday, March 14, 2012

ඔබ මැනවින් නිමවෙන්නට නම්

මේ ලෝකයේ මුලාවට පත්වූ සියලූම සත්වයන්ට සත්‍යය කුමක් ද? යන වග පහදා දෙන ලද්දේ අපවැනි මිනිසකුව උපත ලද පුද්ගලයෙකි. නමුත් ඒ මහා පුරුෂයාට මෙයයි සත්‍යය, මෙයයි අසත්‍යය යන වග හෙළිකරදෙන්නට කිසිවකුත් නොසිටියේය. ඔහු තනිවම සියලූ සත්‍යයන් අවබෝධ කොටගෙන බුද්ධත්වයට පත්ව දුක්විඳි ලෝක සත්වයාටම සැනසීම කුමක්ද යන වග පහදා දී ලෝකයේ දිවි ගෙවූ දුප්පත්, පොහොසත්, කුළීන, කුළහීන සෑම කෙනෙකුටම විමුක්තිය උදාකර දුන්නේ නම්, ඔබට නිවැරදි මග කුමක්දැයි හෙළි කරන්නට, පෙන්වාදෙන්නට නියමුවන් සිටියදීත් ඒ මග නොදැක නොමග ගොස් දුක් විඳින්නට උත්සාහ කරනවාද? එසේත් නැතිනම් සැප සම්පත් විඳින්නට මං පෙත් විවර කරගන්නවාද? මෙය අප සෑම දෙනෙකු විසින්ම මැනවින් විමසිය යුතු කරුණක්ව පවතී. මේ කාරණය නොසිතන නිසාවෙන් අද අප රට තුළ විවිධාකාරයේ ගැටළු පැන නැගී ඇත.


මෙම ගැටළු ඇතිවීමට මූලික සාධක වන්නේ නොදැනීම හා අවබෝධය නොමැතිකමයි. අප සෑම පුද්ගලයෙකුම නොදැනීම නම් අන්ධකාරයේ ගැලෙන්නට පුරුදුව ඇත. එසේම තාවකාලික සැපයක් විඳින්නට අධ්‍යාපනය ලැබියයුතු කාලයේ නොයෙක් රැකීරක‍ෂාවල නියැලෙන්නට පුරුදුව සිටී. මේ පිරිස තමන්ගේ කාලය හා වයස මත යම් යම් දේ කළ යුතු කාලයේ සුදුසු දේ නොකොට අකාලයේ වගකීම් උසුලන පුද්ගලයින් බවට පත්ව දුක් විඳියි. එනම් වයස් ගතව විලක් අසලට ගොස්් දුක්විඳින කොකෙකු මෙනි. ඒ  බව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත.


අචරිත‍වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිඤ්ඤ කොඤ්චාච ජායන්ති
ඛීණ මජ්ජේව පල්ලලෙති 


සුදුසු කාලයේ බඹසරෙහි නොහැසිරෙමින්ද, සුදුසු කාලයේ දී මුදල් හා දේපල සම්පත් අවශ්‍ය පරිදි නොසොයා ගැනීමෙන්ද, වයස්ගත තත්ත්වයට පත් පුද්ගලයා සුසුම් හෙලනුයේ කවරෙකු මෙන්ද යත්, විලක් ළඟට ගොස් විලේ ඇති මාළුන් දැක දුක් මුසුව කිසිත් කරකියා ගන්නට නොහැකි කොකෙකු මෙනි.

මේ දහම් කරුණු බුදුරජාණන් වහන්සේ විසින් දේශානා කරන ලද්දේ මෙයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර වුවත් මෙහි සාර්වකාලීන සත්‍යය අපට අද ද වටහාගත හැක.

     
මෙම කරුණු දැක දැකත් අප ඒ සියල්ල දිරූ දර කඩක් මෙන් ඉවත දමනවාද? ඉවත දමන ලද නොදිරූ දරකඩ ගෙන ලිප මොලවන්නාක් මෙන් එම අදහස් අප ජීවිතයට ගලපාගෙන අපගේ අනාගතය පැහැබර කොට ගැන්මට උත්සාහ ගන්නවාද? අපට උත්සාහ කළ නොහැකිද? පුළුවන්. දුවේ, පුතේ එසේනම් අප නිහඩව සිටින්නේ කුමක් නිසාද? නිහඩව සිටීම තුළින් හා ප්‍රමාදය තුළින් අපගේ විමුක්තිය තවත් ප්‍රමාදවනවා හැර කිසිදු යහපතක් සිදු නොවන බව ඔබ නොදන්නවා නොවේ. එයද බුදුන් වහන්සේ  මෙලෙස දේශනා කොට ඇත.

අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
අප්ප මත්තා න මීයන්ති
යේ පමත‍තා යථා මත


අප්‍රමාදය නිවනට මගයි. ප්‍රමාදය මරණයට මගයි. අප්‍රමාද නොවූ තැනැත්තා මිය යයි. මෙය සැබෑ සත්‍යයකි


අජ්ජෙව කිච්චං ආකප්පං
කෝජඤඤා මරණං සුවේ 


අද කළ යුතු දෙය අදම කරනවා විනා හෙටට කල් දැමීම තුලින් කිසිදු සැපයක් අත් නොවේ.


මේ සියල්ල තුළින්ම අප වටහා ගත යුත්තේ එකම කරුණකි. එනම් තමන්ගේ විමුක්තිය / සැනසුම ලබාගැනීමට තමන්ම වෙහෙස විය යුතුය. එසේ හැර තමාගේ මවට / පියාට, සහෝදර සහෝදරියන්ට හෝ නෑදෑ හිතමිතුරන්ට ඔබගේ විමුක්තිය හෝ සැනසීම ලබාදිය නොහැක. ඒ සෑම කෙනෙකුම අප අතර සිටින තවත් පිරිසක් පමණී. තමාට එසේත් නැතිනම් මට කරදරයක් වූ අවස්ථාවකදී මාගේ පිහිටට මාගේ නෑ හිතවතුන් දෙමාපියන් ඇත යනුවෙන් සිතා සිටියද ඔවුන්ට ඔබ වෙනුවෙන් සදාකාලික පිහිටක් ලබාදීමට හැකියාවක් නැත. ඔවුන්ගෙන් ලැඛෙනුයේ හුදු ලෞකික ජීවිතයේ ගැටළු කිහිපයකට අවශ්‍ය සීමා සහිත උත්තර කිහිපයක් පමණි.

     
එක් සංස්කෘත පඬිවරයෙකු විසින් ප්‍රකාශිත ශ්ලෝක පාඨයකි. එනම්,

පුස්ත කස්‍යාච යා විද්‍යා
පර හස්තේ ච යද් ධනං
විපත්ති කාලේ සමායාතේ
න තද් විද්‍යා න තද් ධනං 


මේ තුළින් මනා උපදේශයක් සපයා ඇත. එනම්,

පොත පතේ ඇති දැනුමෙන් ද, අනුන් අත ඇති ධනයෙන් ද ඇති කිසිදු ඵලයක් නැත. ඒ මන්ද යත්? තමන්ට විපතක් කරදරයක් පැමිණි පසු පොත පතේ ඇති දැනුමෙනුත් අනුන් අත ඇති මුදලෙනුත් කිසිදු ඵලයක් නැත.

මෙම කරුණු සත්‍ය නිසාවෙන් අප කළ යුතුව ඇත්තේ පොතපතේ ඇති දැනුම තමා සතු කරගැනීමත්, තමන් වෙනුවෙන් මුදල් උපයා ගැනීමත්ය. එය කල යුතුවන්නේ යම් ක්‍රමවේදයකට අනුවය. එම ක්‍රමවේදය උගත යුත්තේ අධ්‍යාපනය තුළින්මය. ඒ අධ්‍යාපනය ලබාගන්නා කාල පාරසය තුළදී වෙනත් පරිබාහිර ක්‍රියාකාරකම් වලින් දුරස්විය යුතුය. එසේ නොවන තාක්කල් ඉගෙනීමේ කාර්යය නිසි පරිදි සම්පූර්ණ කරගැනීමට නොහැකි වනවා මෙන්ම තමන්ගේ ගමන නිසි පරිදි අරඹන්නට අවශ්‍ය පසුබිම මැනවින් සකසා ගන්නට නොහැකිවනු ඇත. එසේ වූ කල්හි ජීවිතේ සැඳෑසමයේ තමා පිළිබඳ තමාටම සුසුම් හෙළීමට සිදුවනු ඇත.


ඉගෙන ගන්නා කාලය තුළ දූ දරුවන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු රාශියකි. එනම්,

1.   ආර්ථීක අපහසුතා නිසා ඇතිවන පාසල් යාමේ අවහිරතා
2.    දෙමාපිය සෙනෙහස පිළිබඳ ගැටළු
3.    මතක ශක්තිය නැතිවීමේ ගැටළු
4.    තමාගේ ප්‍රශ්න ප්‍රකාශ කරන්නට ඒවාට සවන් දෙන්නට කෙනෙකු නොමැතිවීම
5.   ප්‍රේම සබඳතා පිළිබඳ ගැටළු



 මේ ගැටළු තුළින් මුලින් ම අප විමසිය යුතුව ඇත්තේ දෙමාපිය දෙපළගේ සෙනෙහස පිළිබඳ ගැටළුවයි. මෙය අද සාමාජය තුළ බොහෝ සේ දක්නට ඇති තත්ත්වයකි. තම කුසින් මෙලොවට දායාදකල දරුවන්ට දෙමාපිය දෙපළගෙන් ලබාදිය යුතු සෙනෙහස මැනවින් ලැඛෙනවාද? තම දුවට පුතාට දුවේ, පුතේ යන ලෙන්ගතු වදනින් අමතනවාද?

දුවේ/පුතේ මෙහෙ එන්න, ඔය වැඩේ කරන්න එපා. ඔය වැඩෙන් ඔයාට අයහපතක් වෙනවා. මේ ආදී කරුණු කාරණා තම දූ දරුවන්ව ළඟට ගෙන අද දෙමාපියන් සෙනෙහසින් කියාදෙනවාද? නැහැ නේද අම්මේ තාත්තේ. එසේ කලා නම් මේ සමාජය තුළ මෙතරම් ගැටළු ඇති නොවනු ඇත. තවද ඔබ ප්‍රමාද වී නැත. ඔබේ දරුවාට සෑමදේම සෙනෙහසින් පැහැදිලි  කරදෙන්න. "පුතේ මේක නරක වැඩක්, මේක හොඳ වැඩක් මේ දේ කරන්න, මේ දේ කරන්න එපා"  යනුවෙන් ආදරයෙන් හා මැනවින් අවබෝධ කර දෙන්න. එවිට ඔබේ දරුවා යහපත් දැනුම් තේරුම් ඇති සත්පුරුෂයෙකු ලෙස සමාජයේ පෙනී සිටිනු ඇත. එසේ නොමැතිව, " උඹට ඕනෑ දෙයක් උඹ කරපන් " යන සිතිවිල්ලෙන් තමන් වැදූ දරුවන් පෝෂණය කිරීම පමණක් කළහොත් නාම මාත්‍රික මවක හෝ පියෙකු පමණක් වීමට ඔබට හැකිය.


මෙම කරුණ වෙනස් කිරීමට නම් යහපත් මවක යහපත් පියෙකු වීමට උත්සාහ කරමු. එවිට මේ ලෝකයේ සෑම කාන්තාවකම සැබෑ මවක මෙන්ම සෑම පියෙකුම සැබෑ පීතෘවරයෙකු වනු ඇත.

එහෙත් ඒ සෙනෙහස නොමැති වූ කළ සෑම දරුවෙකුම සමස්ත සමාජයටම පිළිලයක් වීම ද නොවැළැක්විය හැකි කරුණකි. අද අප රට තුළ බොහෝ මව්වරු පියවරු තමන්ගේ දරුවෝ තනිකර දමා විදෙස්ගතව කටයුතු කරන්නට හුරු පුරුදුව සිටිති. එවිට තමන්ගේ දුව හෝ පුතා රැක බලාගන්නට යොමු කරන්නේ කවුරුන්ද? එය බල්ලාගේ කාර්යය බූරුවාට පැවරීමට සමාන දෙයකි. මව් කෙනෙකුන් හා පියෙකුගෙන් ලැබිය යුතු සෙනෙහස හා ආදරය වෙනත් කෙනෙකුගෙන් ලබන්නට නොහැකි බව දැනගත යුතුව ඇතිවා සේම එය ක්‍රියාවේද යෙදවිය යුතුයි.

තම දරුවාට කුඩා කාලයේදී මව්කිරි දිය යුතු වුවත් සමහර මව්වරුන් විදෙස් ගතවීම නිසා සිය කුසින් උපන් බිළිඳාට පිටිකිරි පොවා පෝෂණය කරන්නට තරම් මේ සමාජය කෘෘර, නපුරු හා අසංවේදී තත්ත්වයට පත්ව ඇත. ඔබ විසින් මෙයට පෙළඹෙනුයේ තමන්ගේ හා දරුවාගේ අනාගත සුභසිද්ධිය අරමුණු කොටගෙන වුවත් ඉන් අහිතකර ප්‍රතිඵල උදාවනු ඇතැයි ඔබ නොසිතන්නට ඇත. නමුත් අම්මේ, තාත්තේ මෙයින් විශාල විනාශයක් ඔබේ දරුවාට සිද්ධවෙයි. දෙමාපියන් දරුවා සමීපයේ නොමැති කල තමාගේ මව කවුද? ඔවුන් මා ළඟ නැත්තේ ඇයි? ඔවුන් මට ආදරේ නැතිද? මෙවැනි අදහස් දරුවන්ගේ සිතට පහළ වනුයේ කිසිවකුගේ ඉගැන්වීමකින් නොවේ. එසේම එම ගැටළු සඳහා පිළිතුරු ද ඔවුන් විසින්ම සපයා ගනු ඇත. එවිට ඔවුන් තම දෙමාපියන්ට වෛර කරන පුද්ලයෙකු බවට නිරායාසයෙන්ම පත්වනු ඇත. දෙමාපියනි තමාගේ ලෙයින් බිහිවන දරුවා සත්පුරුෂයෙකු හෝ අසත්පුරුෂයෙකු කිරීමේ කාර්ය ඔබ සතුයි.

දූ දරුවන්ට දෙමාපියන්ගෙන් ලැඛෙන තරම් ආදරයක් සහනයක් වෙනත් කිසිදු පුද්ගලයෙකුගෙන් ලැබිය නොහැක. එසේනම් ඔබ කලයුත්තේ විවාහ දිවියට පත්වන්නට ප්‍රථම තමාට හා තම පවුලට මෙන්ම දරුවනට හොඳින් ජීවත් වීමට අවශ්‍ය ආර්ථීක තත්වයක් ගොඩනඟා ගැනීමය. එසේ සැලසුම් සහගත නොවන අයුරින් විවාහ දිවියට එළඹීම මගින් තමාගේ දරුවන්ගේ අනාගතය මෙන්ම තමාගේ ද ජීවිතය ද අඳුරු දුක්ඛිත නීරස තත්වයට පත්වනු ඇත.

තවත් පවුලක මව විදේශගතව පියාට දරුවන් පවරා ගියද පියා මව විසින් එවන මුදල් වියපැහැදම් කර නාස්තිකාර පුද්ගලයෙකු ලෙස කටයුතු කරනු ඇත. දැන උගත් පිය කෙනෙකුන් වුවහොත් දරුවන්ට උගන්වාගෙන යහපත් දිවියක් ගත කලහැක. එසේ නොවුනහොත් තම දරුවන් ද අයාලේ යවමින් පියාද නාස්තිකාර මෙන්ම සල්ලාල දිවියක් ගතකරනු ඇත. මව නිවෙසට පැමිණෙන විට සියල්ල අහිමිව පෙර සිටියාටත් වඩා අන්ත අසරණව පසුතැවීමට සිදුවනු ඇත.
     

එසේම දරු දැරියන් තම පවුලෙන්, දෙමාපියන්ගෙන් නොලැඛෙන ආදරය සමාජයෙන් බලාපොරොත්තු වීමද අද දැකිය හැකි ඛේදවාචයකි. දරුවා ගැහැණු දරුවකු වුවහොත් එයම ඇයගේ විනාශයට ද හේතුවක් වනු ඇත. දෙමාපියන්ට මෙවැනි දේ දරාගැනීමට නොහැකි වුවද මෙසේ සිදුවන්නේ ආරම්භයේ දී වූ අතපසුවීම් මගහැරීම් වල ප්‍රතිඵල ලෙසයි. ජීවිතය තනන්නන් විසින්ම ජීවිතය මැනවින් තැනිය යුතුයි.



No comments:

Post a Comment