ජීවිතය යනු කුමක්දැයි වටහා ගත යුතු කලදී

මිල මුදල් තිඛෙන පලියට අත දිග හැර වියපැහැදම් කිරීම ඉතා අනුවණ ක්‍රියාවකි. බුදු රජාණන් වහන්සේ එය දිඹුල් කන්නෙකුට උපමා කොට ඇත. ඕනෑම පුද්ගයෙකුගේ ක්‍රියාකාරකම් තීරණය වන්නේ ඔහුගේ ශක්ති ප්‍රමාණය හා දැනුම මතය. එයට උදාහරණයක් ලෙස බුදුන් දවස දිවිගෙවූ කිසා ගෝතමිය හා පටාචාරා දැක්විය හැක. ඔවුන්ගේ සිහි විකල්වීමට බලපෑ කරුණු මොනවාද?
පටාචාරාව තම ආශාවන්ට වහල්ව කටයුතු කිරීම නිසා අවසානයේ තම පවුලල සැමියා හා දරුදෙදෙනාද අහිමි කොට ගත්තාය. තම මව්පිය  දෙපළගේ අවවාද අනුශාසනාවන් ඇසුවා නම් ඇයට යහපත් අනාගතයක් ගොඩනන්වා ගන්නට හැකියාව තිබුනි. නමුත් තම අසීමිත ආශාවන් හා අදූරදර්ශී තීරණ මත ඉතා ශෝචනීය ඉරණමකට ලක් වූවාය. නමුත් එදවස බුදුරජාණන් වහන්සේගේ පිහිට මත ඇය ජීවිතය පසුව හෝ සාර්ථක කරගත්තාය. බුදු කෙනෙකුන් නොසිටියානම් ඇයට සිද්ධවන්නේ කුමක්ද ?

බෞද්ධයන් වශයෙන් අප සරළ විය යුතුය. එසේම බුදු දහම තුළ ගිහියන් ලෙස ඔබ ජීවත්විය යුත්තේ කෙසේද යන කාරණය මැනවින් පෙන්වාදී ඇත. නමුත් ඔබ මේ කිසිදු ආදර්ශයක් මාර්ගෝපදේශනයන් ඔබේ දිවියට ලංකර නොගන්නේ මන්ද? දුවේ පුතේ එය ඔබ ඔබගෙන්ම විමසා බැලිය යුතු කරුණකි. ආදරණීය දරුවනි,  ඔබත් එවැනි පාටාචාරාවන් වන්නට උත්සාහ කරනවාද යන්න සිතා බැලීමට කාලයයි මේ. එහෙත් අද කාලයේ ඔබ පටාචාරාවක් වුවහොත් අවසන් ප්‍රතිඵලය වන්නේ ඔබ අම්බපාලියකද වීමෙනි. එයට හේතුව නම් එදවස පටාචාරාවන්ට පිහිට වන්නට බුදුරජාණන් වහන්සේ වත් සිටි බැවිනි. නමුත් අද සමාජයේ බුදුවරු නොමැති බව මැනවින් සිහිතබා ගන්න. දරුවනි ඔබට උප්පලවණ්ණාවන් ලෙස දිවිගෙවීමට නොහැකිද? කිසිදු නොහැකියාවක් නැත. ඔබට සැබෑ ලෙසම උප්පලවණ්ණා තෙරණිය වන්නට නොහැකි වුවත් එවැනි ගුණ දහම් මඳක් හෝ ඔබේ දිවියට ආදේශකොට ගෙන ආලෝකමත් වන්නට හැකියාවක් ඔබ සතුව ඇත.

එසේම කිසා ගෝතමිය බුද්ධිමත් උගත් කාන්තාවක් වුවත් ඇයද නොසිතූ ලෙස ජීවිතයේ දුක් කරදර වලට මුහුණ පෑවාය. තම දරු ස්නේහය නිසා මළකඳ රැගෙන පාරක් පාරක් ගානේ ඇවිද ගියාය. ඇයටද බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවූවාය. තමාට ලැබෙන යහපත් ඔවදන් තර්ක කිරීමෙන් තොරව පිළිගන්නට අප පුරුදු විය යුතුය. හැඟීම් වලට වහල්ව එදා කිසා ගෝතමිය බුදුරජාණන් වහන්සේ කීදේ නොඅසා තම දරුවාට ජීවිතය දෙන්නට උත්සාහ කලේ නම් ඇය තවත් ආගාධයකටම වැටෙන්නේය. එසේ නම් ඇයට නිවැරදි මාර්ගය අවබෝධ කරගන්නට හැකියාව ලැබේද?

මෙවැනි කරුණු සියල්ලක්ම ඔබ වෙත ප්‍රකාශ කිරීමට හේතුව නම් යා යුතු මග තිබියදී හති දමමින් නොමග දුවන දූ පුතුන්ට නිසිමග අවබෝධ කරදීමේ පරමාර්ථයෙනි. එසේ නම් අපට කෙතරම් හැකියාව තිබුනද කෙතරම් මුදල් තිබුනද ඒවා  වැරදි ලෙස පරිහරණය නොකර සාර්ථක වීමට උත්සාහ   ගත යුතුය. ජීවිතය යනු කුමක්දැයි වටහා ගත යුතු කාලය  තුළදී කළ යුතු නිසි කටයුතු වල පමණක් නිරතව තම ජීවීත කාලය නිශ්ඵල ලෙස ගත කිරීමට යාම නිසා සිය දිවි නසාගත් හා විපතට පත් පිරිස් අපමණ දැකගත හැක. එම ජීවිත පරිහාණියට වගකිව යුත්තේ ද ඔවුන්මය.

එමෙන්ම  ඔවුන්ගේ මා පියන්ටද මේ සම්බන්ධ බරපතල වගකීමක් දැරීමට සිදුවනු ඇත. අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, ආදී වදනින් අමතන්නට ළමා කාලයේදී හුරු පුරුදු කරන්නාසේම මේ දෙය හොඳයි මෙය නරකයි යන කරුණු නිසි ලෙස පැහැදිලි කළ නමුත් එම මාර්ගයට යොමු කරන්නට උත්සාහ නොගැනීම මත බොහෝ දූ පුතුන්ට මග පැහැදිලි වුවත් නොමග ගොස් දුක් විඳිනු දැකගත හැක. එම දුක් විදින්නේ කුමක් නිසාදැයි සමාජය දෙස විමසිලිමත්ව බලන කල්හි දෙමාපිය අඩුලූහුඩුකම් හා දරුවන්ගේද අඩු පාඩුද ඇති බව පෙනී යයි. දෙමාපියන් දුක් මහන්සි වී දරුවන්ගේ අවශ්‍යතා මැනවින් සම්පූර්ණ කළද එම දරුවන් අධ්‍යාපනය ලබන කාලය තුළදී ඉගෙනීමේ නිසි ලෙස යෙදෙනවාද? එසේත් නැතිනම් වෙනත් අකටයුතුකමක නිරත වන්නේදැයි මොවුන්ගේ දෙමාපියන් නොසොයන බැවින් එම දරුවන් නිශ්ඵල කාර්යයන්හි නියැලී තම අධ්‍යාපන ජීවිතය වනසාගෙන ඇත. එය ඔවුන් විසින්ම සිදුකර ගත් විනාශයකි. ඔවුන් අධ්‍යාපනය ලබන කාලය තුළ එම කාර්යයන්හි නොයෙදෙන බැවින් තරුණයෙක්ව සමාජීය වගකීම් ඉටුකිරීමට ගොස් ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවේ.

මොවුන් විසින්  මුහුණ දෙන ගැටළු වල ප්‍රතිඵලයන් පහත දැක්වෙන කරුණු වලට අනුව ඔවුන්ගේ දරුවන්ද දිනෙක අත් විඳිනු ඇත. අසම්මත ලිංගික හැසිරීම්

  •   නුසුදුසු වයසේ දී විවාහවීම
  •   නුසුදුසු විවාහයන් සිදු කරගැනීම
  •  උපත් පාලනය හෝ පවුල් සැලසුම් ක්‍රමයන් පිළිබඳ  ඇති නොදැනුවත්කම
  •   ආර්ථීක ගැටළුවලට මුහුණදීම
  •      විවාහයන් දෙදරායාම හෝ අසම්මත සබඳකම්  පවත්වා ගැනීම
මේ ආදී කරුණු කාරණා රැසක් දරුවන්ගේ ඉගෙනීමේ ක්‍රියාවලියනට බාධකයක්ව පවතී.

 මෙහි සඳහන්ව ඇති නුසුදුසු විවාහයන් යන කරුණ සාකච්ඡා කිරීමේ දී වත්මන් සමාජයේ නුසුදුසු විවාහයන් කොතෙක් සිදුවේද? මෙම සමාජය දෙස බැලීමේදී එය හොඳින් වටහාගත හැක. යම් අවස්ථාවකදී උසස් අධ්‍යාපනයක් ලද තරුණියක විවාහ කර දෙන්නේ නූගත් තරුණයෙකුට, එසේත් නැතිනම් කුළී වැඩ කරන්නෙකුට වැනි පුද්ගලයෙකුට වන අවස්ථා අප අතර ඇත. මෙවැනි අවස්ථාවකදී ගැටළු රැසක් ඇතිවීමට ඉඩඇත. එයට හේතු විමසා බැලීමේදී සමහර දෙමාපියන් දරුවන්ගේ ආවාහ විවාහයන් කිරීමේදී විමසන්නේ වත් පොහොසත්කම් පමණි. දෙමාපියනි, ඔබ ආර්ථීකය පිළිබඳව පමණක් සැලකිලිමත් වීමට වඩා දෙදෙනාගේම දැනුම, හැඟීම් ආදිය පිළිබඳව මනා අවබෝධයක්ද ලබාගත යුතුව ඇත. ඔබගේ දරුවා ගොවිතැන් කරන්නෙකු හෝ ත්‍රී රෝද රථ රියදුරෙකු හෝ කුළී වැඩක නිරත වන්නෙකු වේ නම් ඔබ කල්පනා කරන්නේ කුමක්ද? තම දරුවාටද විධිමත් රැකියාවක් නැති බැවින් වත් පොහොසත්කම් හා රූ  සපුවෙන් යුක්ත දැනුමෙන් පරිපූර්ණ තරුණියක විවාහ කරදී වගකීම් වලින් නිදහස් විය යුතු බවය. මේ අයුරින් සිතා කරන විවාහයකින් පසුව ඔවුන් සතුටින් ජීවත්වනවාද? යන්න ඔබ විමසා බැලිය යුතුය. මෙවැනි නුසුදුසු ආවාහ විවාහයන් හේතුවෙන් අනාගතයේදී දුක්ගැහැට විඳිනුයේ ඔබ හෝ විවාහ වූ ඔබේ දූ දරුවන් පමණක් නොව ඔවුන්ගෙන් බිහිවන දූ දරුවන්ද වේ. මැනවින් අධ්‍යාපනය ලැබූ තරුණියක් හා නූගත් තරුණයෙකු අතර ඇතිවන විවාහයේ දී දරුවන් බිහි කිරීමෙන් පසුව තම දරුවන්ට ඉගැන්වීමට එම දරුවන්ගේ මව කොතරම් උත්සාහ දැරුවද තම දුවගේ හෝ පුතාගේ අධ්‍යාපනයට සමහර පියවරු අකුල් හෙලන්නට උත්සාහ ගනු දැකිය හැකිය. සැමියා මත්ද්‍රව්‍ය පරිහරණය කර නිවෙසට පැමිණ අඩන් තේට්ටම් කිරීම හෝ වෙනත් ආකාරයකින් පවුල් පරිසරය තුළ ගැටුම් ඇති කරයි.

සමාන්‍යයෙන් නූගත් පුද්ගලයෙකු තම ලිංගික අවශ්‍යතාවයන් සඳහා පමණක් උනන්දු විය හැක. තම සැමියාගේ ක්‍රිය කලාපය පිළිබඳ මනා දැනීමක් ඇති බිරිඳකට සැමියාගේ අවශ්‍යතා ඉටු කිරීමට අවැසි ලෙස හැසිරීමට අකමැත්තෙන් වුවද සිදුවනු ඇත. එම කාරණය නිසා අධ්‍යාපනය ලබන දරුවකු නිසි ලෙස අධ්‍යපන කටයුතු වල යෙදවීමට මවක ලෙස ඇයට නොහැකිවනු ඇත. මෙවැනි අකටයුතුකම් සිදුවනුයේ මුඩුක්කු, මුහුදුබඩ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් හා දුෂ්කර ප්‍රදේශ තුළ ජීවත් වන පවුල් වල බැව් සමීක‍ෂණ මගින් සනාථ වී ඇත.

 නුසුදුසු විවාහයන් හේතුවෙන් සිදුවන මෙවැනි වැරදි නිසා සාමජයට සිදුවන හානිය අපට පෙනීයයි. මෙවැනි වැරදි ඉදිරි සමාජය තුළ නොදකින්නට මනා විමසීමකින් දෙමාපියන් වශයෙන් දරුවන්ගේ යුතුකම් ඉටුකල  යුතුය. මෙවැනි තත්ත්වයන් ව්‍යාප්ත වුවහොත් පීඩනයෙන් ජීවත්වන පවුල් මෙන්ම දරුවන්ද සමාජය තුළ හිඟ නොවනු ඇත. දරුවන් බිහි කරනවාට බිහි කිරීමෙන් බැහැරව සමාජයට යහපත් දරුවන් දායාද කරවීමේ පරමාභිලාෂයෙන් දරුවන් ඇති දැඩි කිරීමට දෙමාපියන් ලෙස ඔබ අදිටන් කරගත යුතුය. එසේ නොවනතුරු පවුල් පරිසරයන් තුල ඇති වන පීඩනය හා අර්බුද නිමා නොවනු ඇත.

දරුවන්ගේ ඉගෙනීම් ක්‍රියාවලියට බලපාන තවත් කරුණක් නම් අඩු වයසින් දරුවන් විවාහ වීමය. සමහර අවස්ථාවන්හිදී අවුරුදු 16-17 වැනි වයස් මට්ටම් වල තරුණියන් නිවසින් හොරෙන් පලා ගොස් විවාහ ජීවිත ආරම්භ කරන අවස්ථා දැකගත හැකිය. නමුත් දරුවන් බිහිකිරීමට තරම් නොමේරූ මෙවැනි ලාබාල තරුණියන්ගේ විවාහයන්ගේ ප්‍රතිඵල වනුයේ අංගවිකල හෝ මන්ද බුද්ධික දරුවන් බිහිවීමයි.

මෙයට වසර දෙදහස් පන්සියයකට පමණ ඈත අතීතයේදී කොසොල් රජතුමා දුටු සිහින සොලොසට හේතු වූයේ ජනතාවගේ අධාර්මික හැසිරීමයි. මිනිස් සිත තුළ ඇතිවන අතෘප්තිකර අශාවන්ට අවනත වීමෙන් කොතරම් ජීවිත ප්‍රමාණයක් අනතුරට ලක්වී ඇද්දැයි සමාජගත පරිසරය දෙස බැලීමෙන් වටහාගත හැක. තම දෙමාපියන්ගෙන් මිදුනු දරුවෙකුට නිදහසේ සමාජය තුල හැසිරිය හැකි පරිසරයක් වර්තමානයේ පවතීද, එය නිමවා ඇත්තේ කවුරුන්ද? මෙයට වගකිව යුත්තේ රට තුළ සිටින වගකිව යුතු පුද්ගලයන් යැයි සැලකෙන පිරිසමය.  එසේම තම දරුවන් දෙමාපියන් ඇසුරෙන් දුරස් කොට ප්‍රසිද්ධ යැයි සැලකෙන පාසලකට දරුවන් ඇතුලත් කලද දරුවකුට යහපතක් වන්නේ නැත. සාමාජීය පුද්ගලයන්ගේ වර්ධනය විය යුතු හා වර්ධනය කල යුතු අංග තුනක් ඇත. එනම්,

  •  හිස
  • අත
  • හදවත

මෙම අංගයන් ක්‍රමානුකූලව නිසි ලෙස වර්ධනය වුවහොත් එම පුද්ගලයා සමාජයට හිතකර පුද්ගලයෙකු වනු ඇත. එසේ නොවන සෑම පුද්ගලයෙකුම සමාජයට පිළිලයක් මිස යහපතක් නම් වන්නේ නැත. අම්මේ තාත්තේ ඔබ විසින් සමාජයට දායාද කරන දරුවා කොයි ආකාරයේ දරුවෙක් දැයි විමසිය යුතුය.

ඔබ සමාජය තුළ ධනවත් පුද්ගලයකු වන්නට පිළිවන. එම නිසා ඔබට දරුවකු හදාගැනීමට කිසිදු බාධාවක් හෝ කිසිදු ශාරීරික අපහසුතාවයක් ඇති නොවනු ඇත. මේ නිසා සමහර විටෙක ඔබ ඔබේ දරුවා ඉහළ මට්ටමේ ධනේෂ්වර පන්තියේ පාසලකට යොමු කරනවා විය හැක. නමුත් ඔබ එතැනින් පසුව තම දරුවා කුමක් කරන්නේද යන්න සොයා නොබලයි නම්? සිදුවන්නේ කුමක්ද? අම්මේ, තාත්තේ, ඔබේ දරුවා පාසලට පිටත් වන්නේ උදෑසන 6.00 ට විය හැක. නැවත රාත්‍රී 8.00 නිවසට පැමිණුනත් ඔබ ඔහු ගැන විමසනවාද? ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් එය විමසන්නේ නැතිනම් ඔබ බලාපොරොත්තු වනුයේ දරුවාගේ පාසල උසස් බැවින් ඒ තුළින් මොළය මෙන්ම හදවත සකස් කරාවි යනුවෙනි. ඉගෙනීමෙන් දරුවාගේ මොළය සකස් වුවද හදවත සැකසිය නොහැක. අප අතර ආගම් බිහිව ඇත්තේ මේ සඳහාය. තම තමන්ගේ ආගම දහම අනුව තමන්ගේ හදවත සකසා ගැනීමට අධ්‍යාත්මය දියුණු කරගැනීමට අප වග බලාගත යුතුය. නමුත් ඔබ ඔබේ දරුවා ආගමට නැඹුරු නොකරන්නේ නම් අවසානයේ ඔබ නිර්මාණය කර ඇත්තේ මොළයක් පමණක් ඇති හදවත නොමැති පුද්ගලයෙකි. අවසානයේ දරුවාද තම ජීවිතය අතෘප්ති කර කර්කෂ ජීවිතයක් ලෙස දකිනු ඇත. එසේම දරුවාගෙන් පෙරලා දෙමාපියන් ලෙස ඔබට ලැඛෙන්නේද හදවතක් නැති පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ සැලකීමක්ම පමණි.

වත්මන් පාසල තුළ විෂබීජයක් ව ඇති ආදරය නිසාවෙන් අපගේ දූ දරුවන් හැඟීම් පසුපස දිවයන පිරිසක් වී ඇත. මෙවැනි තම වයසට නුසුදුසු අතෘප්තිකර ආශාවන් පසුපස දිවයන දරුවා සිය දිවි නාසාගැනීම් ආදී තීරණයන්ට හෝ අඩු වයසකදී විවාහ වී ජීවිතය අඳුරු කර ගැන්මට පෙළඹෙනු ඇත. යා යුතු හා නොයායුතු මග පෙන්වා දෙන බුදු දහම සරණ යන අපගේ බොදු දරුවන් බොහෝ විට අපගේ දෙමාපියන්ගේ ක්‍රියකලාපයන් හේතුවෙන් නොමගයති.

නාගරික ප්‍රදේශයන්හි ධනවත් දෙමාපියන් රාත්‍රිය ගත කරනුයේ  සමාජ ශාලාවල වන්නට පිළිවන. එය දකින දරුවා දෙමාපියන්ගෙන් ධනය හැර ආදරය නොලැඛෙන බැවින් ආදරය සොයා යෑමට මෙන්ම ලිංගික කටයුතු සඳහාද යොමු විය හැක. මෙය නාගරික සාමාජය තුළ බරපතල ප්‍රශ්ණයක්ව ඇත. මෙසේ දරුවන් ලිංගික කටයුතු සඳහා පෙළඹීමට නාගරික පාසල් මෙන්ම ගම්බද පාසල්වල ද දරුවන් පෙළඹී ඇත. මෙයට විද්‍යුත් මාධ්‍යයද හේතුවී ඇති බැව් පෙනී යයි.

සමහර සිසුන් පාසල තුළදී පවා යම් යම් අවස්ථාවන් වලදී අප අසා ඇති පරිදි ලිංගික සබඳතා පවත්වා ඇති අවස්ථා ඇත. මෙවැනි විටෙක ගුරුවරුන්ට හසුව ලැජ්ජාව දරාගත නොහැකිව සියදිවි නසාගත් අවස්ථාද ඇත. දරුවනි, පාසල් කාලය තුළ අතෘප්තිකර ආශාවන් පසුපස යෑම ඔබගේ විනාශයටම හේතුවනු ඇත.

තමන්ගේ වයස් සීමාව තුළ සිදු කළයුතු හා නොකළ යුතුදේ ඇත. එය නොඅදහන බැවින් හෝ මෙසේ නිශ්ඵල ක්‍රියවන් වල යෙදීමෙන් වන අහිතකර බලපෑම නොදන්නා නිසාදෝ නැතිනම් ඔබට පහදා දෙන්නට කෙනෙකු නොමැති නිසා මෙවැනි කටයුතු වල නිරතව තම අධ්‍යාපනය, අනාගත සිහින ආදි සියල්ලක්ම අඳුරු කරගන්නා අවස්ථා දැකිය හැක.

කෙසේ හෝ වේවා ආදරණීය දුවේ, පුතේ ඔබ සිතිය යුත්තේ එකම කරුණකි. එනම් ඉගෙනීමේ ක්‍රියාවලිය නිසි ලෙස නිමා කර මා උසස් රැකියාවක නිරත වුවහොත් මට ලස්සන ගසක ලස්සන මල් පිපුනාක් වැනි සුන්දර අනාගතයක් ගොඩ නඟාගත හැකිය. මෙවැනි සිතුවිලි ධාරාවක් ඔබ සිතට ඇතුල් කළ විට එම සිහිනය  ඉටුකර ගැනීමට ඔබද නිරායසයෙන් උත්සාහ ගනු ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඔබේ ඉලක්කය,  ජය මාවත වෙත ඔබ කෙදිනක හෝ ළඟාවීමත් ඔබ වටා සිටින පිරිසගේ නිරන්තර ආදර ගෞරවයට පාත්‍ර වීමත්ය. දරුවනි, මා පෙර කීවාක් මෙන් අනියම් නිශ්ඵල ක්‍රියාවන්ගේයෙදී අනාගත අසාර්ථක කොටගෙන තමාගේ දරුවන් ද සමාජයට පිළිලයක් නොවන්නට වගබලා ගත යුතුය.

තවත් විශේෂ කරුණක් නම් දෙමාපියන් ලෙස ඔබ දත යුතුය. එනම් දරුවන් සිටින දෙමාපියන් ලෙස ලිංගික කටයුතු වල යෙදීමේදී වගකීමකින් යුතුව හැසිරිය යුතුය යන්නයි. එනම් ඔබේ දරුවා සමහර විටෙක රාත්‍රියේ දී පාඩම් කටයුතු කරනවා වන්නට පුළුවන.  එවිට ඔබ දරුවාට එම කාර්යයට රුකුලක් වීමට අවශ්‍යය. දෙමාපියන් ලෙස තම දරුවා වෙනුවෙන් තම ලිංගික ආශාවන් මැඩපවත්වා ගැනීමේ ශක්තියක් ඔබ තුළ තිබිය යුතුය. ඔබ ඔබේ දරුවාගේ අධ්‍යාපනයට වඩා ඔබගේ අවශ්‍යතා ගැන සිතන්නේ නම් එය ඔබ දරුවාට කරන මහත් අයුක්තියකි. උදාහරණයක් ලෙස තම දරුවන් වේලාසනින් නින්දටයවා තම ලිංගික කටයුතු සඳහා යුහුසුළු වේනම් රාත්‍රියේ පාඩම් කිරීමට හුරුව සිටින දරුවෙකුට වන පාඩුව පිරිමැසිය නොහැක.

එයින් වන්නේ දරුවා කම්මැලියෙක් වීමය. එවිට කම්මැලියාගේ සුරවිමන යහනය යන කියමන ඔබට යථාර්ථයක් ලෙස ඔබගේම දරුවාගෙන් දැක බලාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. එසේනම් ඔබගේ දරුවා දුබලයෙක් හෝ අලසයෙක් ලෙසට සමාජයට හඳුන්වා දෙන්නේ ඔබම නොවේද?  පිරිමි දරුවෙකු නම් අවම වශයෙන් කුලී වැඩක් හෝ කර ජීවිතය ගැට ගසාගනු ඇත. එහෙත් දියණියක මෙවන් තත්ත්වයකට පත්වුවහොත් ඇය දෙවනුව ජීවිතය ගොඩනගා ගන්නට උත්සාහ ගන්නේ ඇඟළුම් කම්හලකට යෑමෙන් වන්නට පුළුවන. එසේම දෙමාපියන් ලෙස ඔබ ඔබේ යුතුකම් කෙසේ ඉටුකලද අධ්‍යාපනය මායිම් නොකරන දරුවන්ද අප අතර ඕනෑතරම් ඇත. එයටද උපදෙස් මේ හරහාම ලබාදී ඇත.

කෙසේ නමුත් දරුවන්ගේ සෑම කරුණක්ම දෙමාපියන්ටද බලපාන බැවින් ඔබගේ දරුවා පිළිබඳ සාජු වගකීමක් ඔබ සතුය. එය මැනවින් අවබෝධ කොට ගෙන  සාර්ථක දරුවෙකු නිර්මාණ කිරීමේ නිර්මාණකරුවන් වන්නට අදිටන් කොටගත යුතුය.

අපගේ අනාගත පරපුරේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රටේ මෙන්ම සමාජයේද අනාගත දියුණුව ඇති කිරීමට හෝ සිඳ දැමීමට හේතුවනු ඇත. මේ පිළිබඳව දෙමාපියන් ලෙස ඔබ ඔඛෙන් විමසිය යුත්තේ මාගේ දරුවා මේ සඳහා කෙසේ සූදානම් වන්නේද? ඔහු සිටින්නේ කොතැනද යන කාරණයි.

අපගේ පවුල් පරිසරයන් තුළ දක්නට ඇති තවත් ශෝචනීය තත්ත්වයක් නම් පවුලක විශාල දරු පිරිසක් වයස් පරතරයකින් තොරව සිටීමයි. මෙම තත්ත්වය දරුවන්ගේ මානසික තත්ත්වයට දැඩිව බලපායි. විවාහක  යුවලකට තම පවුල සැලසුම් කිරීමෙහි මනා අවබෝධයක් හා වගකීමක්ද ඇත.
 
පළමු දරුවාගේ උපතින් වසරකට හෝ දෙකකට පසු තවත් දරුවකු පවුලක උපත ලැබීමෙන් පළමු දරුවා නිසි ලෙස පෝෂණය කරන්නට නොහැකි වේ. එනම් මව්කිරි බොන දරුවෙකුට එම අවශ්‍යතාවය මැනවින් සපුරා ගැනීමට නොහැකිවීමයි. එසේම දරුවන් දෙදෙනෙකුගේ කටයුතු මවකට එක සමානව සපුරාලිය නොහැක. මේ නිසා පළමු දරුවාට ලැබිය යුතු පෝෂණය ආදරය උණුසුම අහිමිවී යනු ඇත. ස්වාමි පුරුෂයා ලෙස මෙන්ම පියෙකු ලෙසද තමන්ට ඇති වගකීම හා යුතුකම් තම ආශාවන් ඉදිරියේ දෙවැනි වීම මෙයට එක් හේතුවක් විය හැක. කෙසේ නමුත් ඔබ බිරිඳක හා සැමියෙකු ලෙස පවුල් සැලසුම් විධි හා උපත් පාලනය වැනි කරුණු සම්බන්ධයෙන් දැනුමක් ලබා සිටියේ නම් වඩාත් යහපත් සුන්දර පවුල් පරිසරයක් ගොඩනගා ගැනීමට අවකාශ ලැඛෙනු  ඇත.

අධ්‍යාපන මට්ටමෙන් පහළ අඩියක සිටින බහුතරයක් පවුල් සඳහා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ප්‍රතිඵල රහිත වී ඇති වීමද ශෝචනීය තත්ත්වයකි. එසේම පිරිමි පාර්ශවය මත් පැනට මත් ද්‍රව්‍යයන්ට හුරුව යහපත් සිහියකින් තොරව තම ආශාවන් සන්තර්පණය කර ගන්නට යෑමෙන් බොහෝවිට මෙවන් ප්‍රශ්න ගැටළු ඇති වීමට  ඉඩ ඇත. දායබර දෙමාපියනි, තමන්ගේ දුවා දරුවන් හෙට ලෝකයට සරිලන උගත්, බුද්ධිමත් සමාජයට වැඩදායක දරුවකු කිරීම ඔබගේ අභිලාෂය නම් පවුල් ජීවිතය තුළ පාලනය, සැලසුම් සහගත බව අත්‍යවශ්‍යය. එසේම තම දරුවන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කිරීමට ඔබට සිදුවනු ඇත. මේ සියලූ දෙයින්ම ඔබට ලැඛෙනුයේ සැනසීම පමණක්ම නොවේද?

දරුවකුගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට පරිසරයද විශේෂ බලපෑමක් ඇති කරයි. එනම් පවුල් පරිසරය මෙන්ම ජීවත්වන පරිසරයද සුවිශේෂි සාධකයක් වනු ඇත. දරිද්‍රතාවයේ අවසාන පඩියෙහි සිටින මුහුදු බඩ සාමාන්‍ය ධීවර පවුල්ල මුඩුක්කු පවුල්වල ජීවත්වන නාගරික ජීවන මට්ටමින් පහළම පන්තියේ පිරිස් වල දරුවන්ට මෙම තත්ත්වය දැඩිවම බලපාන බව පෙනී යයි. එනම් මුඩුක්කු පරිසරයක පර්චස් එකක් පමණ කුඩාබිම් කඩක ලෑලි ගෙයක ජීවත් වන පවුලක දරුවෙකු නොයෙකුත් වද වේදනාවන්ට කායික මෙන්ම මානසික වශයෙන්ද ලක්වනු ඇත. එවැනි මට්ටමක ජීවත් වන දෙමාපියන්ගේ රැකියාද දරුවාගේ මානසිකත්වයට බලපානු ඇත. දෙමාපියන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමටද දරුවාගේ සියලූ කටයුතු කිරීමට ඇත්තේ සීමිත බිම්කඩක් විය හැකිය. මෙවැනි පරිසරයක අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු මානසික තත්වයක් දරුවකු ගොඩනගා ගන්නේ කෙසේද? ඔවුන් දකින විඳිනදේ මෙන්ම දරුවාට පවා පෞද්ගලිකත්වයක් නිදහසක් නොදැනෙන පරිසරයක දරුවා මානසිකව අතරමං වනු ඇත.

මෙම කරුණු මෙසේ වුවද  ජීවිතයේ සැනසුම සොයන සෑම කෙනෙකුම කෙදිනක හෝ බලාපොරොත්තු වන්නේ සමාජයේ ඉහළ තලයකට ගමන් කිරීමයග මෙවැනි දරුවන්ටද ඒ අභිලාෂය එසේම ඇත.

වර්තමාන සමාජය තුළ මුදලට සියලූ දේ ලබාගත නොහැකිව ඇති පරිසරයක මෙවැනි පරිසරයන්වල ජීවත්වන දරුවන්, මිනිසුන් මුදල් නොමැතිව කොතෙක් දුක් විඳිනවා ඇත්ද? ලොකු කුඩා භේදයකින් තොරව අපට ඇති වන බොහෝ ගැටළු වලට හේතු වනුයේ අපගේම නිශ්ඵල අරුත් සුන් ක්‍රියා කලාපයන්ය. එසේම මෙසේ ඇති වන සෑම ගැටළුවකටම විසඳුම් ඇත්තේද අප තුළමය. ජීවිතය ලබන්නා එය පරිණත කොට ගෙන වින්දනය කොට තමන්ම එහි අවසානයක් දැකිය යුතු වුවත් අද ජීවිත කීයක් නිශ්ඵල ලෙස විනාශ වන්නේද? ඔබ මේ පිළිබඳ ඔබගෙන්ම විමසා බැලිය යුතුය.

ඉහත දිගහැරුනු කරුණු එකිනෙක ගෙන නැවත විමසා බැලීමේදී දෙමාපියන් ලෙස කරන විවිධ ක්‍රියාවන් දරුවන්ගේ අනාගතය බිඳවැටීමට සෘජු සාධකයන් වන බවට පැහැදිලිවනු ඇත.

තවත් කරුණක් නම් ඔබ දෙමාපියන් ලෙස දරුවනට දක්වන අසීමිත ආදරය ප්‍රකාශ කරන්නේ වැරදි පිළිවෙතකට විය හැකිය. එනම් දරුවෙකු යමක් ඉල්ලු සැනින් එය ගෙනැවිත් දීම ඉතා වැරදි ක්‍රියාවකි. මේ පිළිබඳවද අප විමසා බැලිය යුතුය.

ඔබ ඔබේ දරුවාට තෑගි හෝ සුළු සුළු අල්ලස් පිළිබඳව පුහු බලාපොරොත්තුදී ඉගැන්වීම නොකරන්න. දුරකථන, සෙල්ලම් භාණ්ඩ හෝ වෙනත් මිල අධික වටිනාදේ පිළිබඳව බලාපොරොත්තුදී දරුවා අධ්‍යාපනයට යොමු කිරීමෙන් දරුවා හඹා යන්නේ ඔහුට ලැඛෙන ත්‍යාගය අපේක‍ෂාවෙනි. ඒ ඉගෙනීම හුදු විභාගය සමත්වීමට පමණක් කරනු ලබන දෙයකි. විභාගයෙන් අනතුරුව දරුවා සියල්ල ඔසවාගෙන සිටි බරක් බිම දමන්නාක් මෙන් සියල්ල අමතක කර දමයි.

ආදරණීය දෙමාපියනි, ඔබ කළ යුත්තේ එය නොවේ. එනම් ඔබේ දරුවාට සත්‍ය පැහැදිලි කර දෙන්න. ඉගෙනීමෙන් තමාට සැප සම්පත් අනාගතයේදී විඳිය හැකි බව හා ඒ සැප සම්පත් විඳීමට ඔහු පොළඹවන්න. එවිට ඔබේ දරුවා නිරායාසයෙන්ම අධ්‍යාපනය කෙරෙහි යොමුවනු ඇත. එසේම ත්‍යාග පිටුපස හඹා යන ඔබේ දරුවා විභාගය අසමත් වූ සැනින් ඉගෙනීම අප්‍රසන්න දෙයක් ලෙස සිතයි. නැවත ඔහු අධ්‍යාපනයට යොමු කරවීම අපහසු විය හැකිය. දෙමාපියනි, එසේ නම් ඔබ ආදරය කිරීමක් ලෙස කර ඇත්තේ වැරැද්දකි. දරුවාට ඉගෙනීමෙන් ලැඛෙන සැපයන් සේම අධ්‍යාපනය අසාර්ථක කරගත හොත් විඳින්නට වන දුෂ්කරතාද අවබෝධ කරවිය යුතුය. මෝඩයෙකුට සමාජයෙන් ලැඛෙන නින්දා අපහාස මුදල් නොමැතිවිට විඳින්නට සිදුවන ගැහැට දරුවා මනාව අවබෝධ කර ගැනීමෙන් පසු එයින් මිඳීමට ඇති ඒකායන මාර්ගය අධ්‍යාපනය බව අවබෝධ කරවිය යුතුය. ඒ තුළින් දරුවා නිරායාසයෙන්ම එයින් මිඳී අනාගතයේ සැප සම්පත් භුක්ති විඳීම සඳහා අධ්‍යාපනය ලබනු ඇත.  මෙසේ දරුවා දිරිමත් කරනවා මෙන්ම ඔබ අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ දරුවාට නොඅඩුව ලබාදෙන්න තම දරුවාට ආදරයෙන් කතාබහ කිරීම මෙන්ම නොදන්නාදේ කියා දීමද ඔබ සතුය. එසේ නොමැතිව ඔබ බොරු පොරොන්දු දීමෙන් දරුවාගේ අනාගතය අඳුරු නොකරන්න.

සමහර දෙමාපියන් දරුවාට කරන තවත් විනයක් ලෙස ජංගම දුරකථන දරුවන්ට ලබාදීම පෙන්වාදිය හැක. සමහර විටෙක ඔබේ දරුවාට ඔබේ ඇති අසීමිත ආදරය නිසා හෝ දරුවන්ගේ ආරක්ෂාව නිසා මෙය රැගෙන දුන්නා විය හැකියි. නමුත් අද වන විට ජංගම දුරකථනය යන ළමා පරපුරේ අනාගතය අඳුරුකර රෝග වාහකයෙකුගේ තත්වයට පත්ව ඇති  
බව ඔබ දන්නවාද? කුඩාම දරුවෙකු පිහියක් අතට ගත්පසු එහි ඇති භයංකාරත්වය විස්තර කිරීමට අවශ්‍ය නැත. සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නැති අධ්‍යාපනය ලබන දරුවන් අතට ජංගම දුරකථන ලැබීමත් එසේමය.

ඔබ දරුවාට දුරකථනයක් ලබාදුන් දින සිටම නොයෙකුත් දුරාචාර කටයුතු සඳහා යොමුවීමට ඔහු පෙළඹිය හැක. එසේ නම් තම දරුවාගේ විනාශයට මාර්ගය පාදා දී ඇත්තේද දෙමාපියන් වන ඔබම නේද? දරුවා එවැනිදේ ඉල්ලන විට ඔබ පැහැදිලි කළ යුත්තේ එය දරුවකුට අනවශ්‍ය දෙයක් ලෙස ඔබට ඔබේ දරුවාට මෙසේද පහදා දිය හැක.

" පුතේ / දුවේ මේ ගෙදර තියෙන සෑම දෙයක්ම මගෙයි අම්මගෙයි මහන්සියෙන් හම්බ කරපු දේවල් අපි දුක් මහන්සියෙන් මේ දේවල් සොයා ගත්ත නිසා අපට අනාගතයක් තියෙනවා. ඔයත් මහන්සියෙන් ඉගෙන ගන්න. ඉගෙන ගෙන පළමුව හොඳ රස්සාවක් සොයාගන්න. මහන්සියෙන් මුදල් උපයන්න. එතකොට ඔයාට අවශ්‍ය සියලූ සැප පහසුකම් ඔයාට ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දුරකථනය අරගෙන පාරේ හෝ බස් රථයෙන් ගමන් කරන විට සමාජයේ බැනුම් නින්දා අපහාස එල්ල වෙන්නේ ඔයාගේ දෙමාපියන්ට. ඇයි නිකරුනේ අපි නින්දා විඳින්නේ. ඒ නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ මුලින් සිතන්නග අනාගතයේදී ඔයාට අවශ්‍ය සියලූ සැප සම්පත් ඉන් පසුව ඉබේම හිමිවේවි "

යනුවෙන් දරුවන්ට පහදා දීම මගින් ඔබට ඔවුන් නිවැරදි දේ කරා යොමු කරවිය හැක. එසේ දරුවාට අවබෝධ කරවන දැනුම ඔහුට දෙන ලොකුම තෑග්ග වනු ඇත. එසේ නොවන්නට දරුවා තුලින් ඔබටද සහනයක් බලාපොරොත්තු විය නොහැක.

එසේම දරුවාට ඔබේ තිඛෙන ආදරය මත ඔබ කල යුත්තේ තම දරුවා වරදක් කරන්නේ කොයි අවස්ථාවේද එය දුටු පළමු අවස්ථාවේ දීම එය නිවැරදි කරන්නට කටයුතු කිරීමයි. වරද දැක දැක එම වරද නිවැරදි නොකිරීම දරුවා වරදට පෙලඹවීමකි. අද ඔබේ දරුවාට වරදට සුදුසු දඩුවම් දී ඔබ යහමගට නොගැනීම හෙට දරුවා කරන කියන දෑ ඔබටම දඩුවමක් වන්නට හේතුවනු ඇත.

තරුණ දූ පුතුන් මාධ්‍ය මගින් හෝ මඟ තොටදී දකින නොයෙකුත් විලාසිතාවන් පසු පස වේගයෙන් ඇදී යයි. දෙමාපියනි, දරුවාට නොගැලපෙන මෙන්ම අපගේ සංස්කෘතියට නොගැලපෙන නවීන විලාසිතාවන්ට දරුවන් යොමු වන්නේ ඔබ ඒ දේ රැගෙන දෙන බැවිනි. එයින් වන්නේද දරුවා නොයෙකුත් වැරදි ක්‍රියාවන්ට යොමු වීමය. දරුවා බටහිර විලාසිතාවන්ට හා හැඟීම් අනුකරණයේ ප්‍රතිඵලයන් වන්නේ දෙමාපියන්ට මහලූ කල මහලූ මඩමක ගත කිරීමට සිදුවීම වැනි තත්වයන් ඇතිවීමය. එම නිසා අපට ඇති යහපත් සංස්කෘතිය දරුවාටද පෙන්වා දෙන්න. ඒ තුළ දරුවා පෝෂණය කරන්න. පන්සල, දහම් පාසල තුළින් අපේ ශිෂ්ඨ සම්පන්න ගති ලක‍ෂණ දරුවාට පෙන්වා දෙන්න. මේ තුළින් දරුවා තුළ උසස් හා ශක්තිමත් පෞරුෂයක් ගොඩනැගෙනවා මෙන්ම විදෙස් විලාසිතා, හැගීම් පසුපස දිවයෑමේ හුරුවද නැතිවී යනු ඇත. එසේම දෙමාපියන් ලෙස දරුවාට ආදර්ශයක් විය යුතු අවස්ථාවේදී ආදර්ශමත් වන්න. බොහෝ දෙමාපියන් නොකරන්නේද මෙයමය. අද සමාජයේ පුරුෂ හා ස්ත්‍රී දෙපක‍ෂයම අනියම් සබඳතා ඇති කර ගැනීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පෙනීයයි. ඔබට දරුවන් සිටිනවා විය හැක. ඔවුන් යමක් තේරුම් ගන්නා වියෙහිදී ඔබ මෙසේ තම සැමියා හෝ බිරිඳ සිටියදී වෙනත් අයෙකු ඇසුරු කිරීමෙන් දරුවාට ලැඛෙන ආදර්ශය කුමක්ද? ඔබට ඉන්පසු ඔබේ දරුවාට යමක් පැහැදිලි කරදීමට හෝ අවවාද අනුශාසනා කිරීමේ හැකියාවක් තිබේද? නැත. දරුවන් ඔබව තඹ සතයකටවත් මායිම් නොකරනු ඇත.

" අම්මේ / තාත්තේ ඔයාලා එහෙම කර කර ඇයි මට එපා කියන්නේ "

යනුවෙන් දරුවා ප්‍රකාශ කරනු නියතය. නමුත් දුවේ, පුතේ නුඹලා සිතිය යුත්තේ මෙයද මනුෂ්‍යයන් ලෙස අපවත් මෙසේ නොහැසිරිය යුතු බව පමණකි. තම දෙමාපියන් මෙසේ හැසිරීමෙන් සමාජයේ පිළිකුලට නින්දාවට ලක්වෙන බවද දරුවන් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන. එසේ නම් ඔබ තේරුම් ගත යුත්තේ තම දෙමාපියන් මෙසේ නින්දා විඳින්නේ ඇයි?  මා මෙම තත්ත්වයෙන් මිඳි යහපත් පෞරුෂයක් ගොඩනගා ගතයුතුයි යනුවෙනි.

ආදරණීය දුවේ, ඔබේ මව වෙනත් කෙනෙකු සමග අනාචාරයේ හැසිරෙන බව දැන දැනත් තම මව සමාජයේ පිළිකුලට හා නින්දාවට ලක්වන බව පෙනි පෙනී ඔබත් ඒ තත්ත්වයට පත්වනවාද? දුස්සීලයෙක්ව වසර සිය ගණනක් ජීවත්වනවාට වඩා සිල්වතෙකුව එක් දිනයක් ගත කිරීම මහත් සැපයක් බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ ඒ නිසාවෙනි. ඔබට ජීවිතය පිළිබඳ අවබෝධයෙන් ක්‍රියාකිරීමට බැරි ඇයි? ඒ ඔබ වටා සිටින අනෙක් අය බාධාවක්වේය යන අනියත බිය නිසාවෙනි. දුවේ, පුතේ ඔබ සිතිය යුත්තේ මා නිවැරදිනම් මා පරාජය කළ හැකි කිසිවෙකුත් මේ ලොව නැති බවය. එසේ නොවේ නම් බුදු කෙනෙකුද මෙලොව පහළ නොවන්නට ඉඩ තිබුණි.

Komentar

  1. great article thak you for this post...

    තවත් මෙවැනි අර්ථවත් ලිපි ලිවීමට ඔබට ශක්තිය හා දිරිය ...........

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::