ඔබ ඔබේ ජීවිතයේ දියුණවට බාධකයක් නොවන්න එහෙත් සාධකයක්ම වන්න

අඳුරු වළාවකින් මිදි සඳ තුළ කෙතරම් ආලෝකයක් ඇත්තේද? එසේම ඒ සඳ දෙස බලා කෙතරම් පිරිසක් සිත සනසා ගන්නේද? එලෙසම ඒ ආලෝකය දෑස් නොපෙනෙන්නවුන්ට මෙන්ම පෙනෙන්නවුන්ට තම තමන්ගේ කටයුතු මැනවින් සිදු කර ගැනීමට කවරාකාර නම් පිටු වහලක් සලසන්නේද? අප සතු ජීවිතයද එලෙසම නිර්මාණය කරගන්නට අපට හැකි නම් ඒ හා සමාන මහඟු කාර්යයක් තුළින් ලැබිය හැකි සතුටක් තවත් වෙනත් එකදු කාර්යක්වත් කිරීමෙන් ලද නොහැකිය. කෙනෙකු තමන්ගේ අතට ගන්නා ලද අවියක් මැනවින් පරිහරණය කරන්නට, ප්‍රථමයෙන් කිසිදු හැකියාවක් නැත. එහෙත් එය නිතර නිතර පරිහරණය කිරීම තුළින් මනා හැකියාවක් නිතැතින්ම ඇති වෙයි. ඒ තුලින් අප සතු කාර්යන් මැනවින් සිදුකර ගැනීමට හැකි වෙයි. එහෙත් තමන් සතු අවි ආයුධ සියල්ල පසෙක තබා තමන්ද පසෙකට වී මෙයින් කටයුතු කරන්නේ කෙසේදැයි සිතමින් සිටියහොත් ඒ අවි ආයුධ නිරපරාදේ විනාශ වී යන්නට හෝ සොර සතුරෙකු විසින් පැහැර ගන්නට තිඛෙන ඉඩකඩ මහා විශාලවනු මිසක් කුඩා නොවේ.

සෑම මොහොතකම සැනසුම සොයන අප වැනසුමක් ලැබීමට කටයුතු නොකර සැනසීම අරමුණු කරගෙනම කටයුතු කරන්නට වෙහෙස විය යුත්තේ වෙහෙස මහන්සියක් දරා මැනවින් තුඹසක් නිර්මාණය කරන්නට වෙහෙසෙන වේයෙකු මෙනි. ක්ෂණයකින් අපට මහා වියතෙකු මෙන් ගොඩනැගෙන්නට තිඛෙන අවකාශය දුලභ වුවත් වියතෙකුව සිට නිවටයෙක් වන්නට එකදු මෙහොතත් සෑහේ. එහෙත් කෙමෙන් කෙමෙන් මහා වියතෙකු මෙන් නැගී සිටින්නට තිඛෙන හැකියාව මහා විශාලවනු ඇත. එසේම ඒ නැගි සිටීම තමන්ටම මිසක් වෙන කිසවෙකුට වනසාලිය නොහැක.

නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව යමෙකු තමන් සතු ප්‍රඥාව දියුණු කරමින් තමන්ගේ ක්‍රියාකාරකම්ද මැනවින් සිදු කරයිද? ඒ තුළින් ඔහුට සමාජය තුළ කල නොහැකි යැයි සම්මත යහපත් වූ කිසිදු බැරැරුම් කාර්යක් නැත. එහෙත් කිසිදු උත්සාහයකින් තොරව ලෝකය තුළ ඉපදුන නිසාම අහාර බුදිමින් සයනය තුළම කල් ගෙවන්නේ යමෙක්ද? ඔහු වෙතට ඔහුගේ මරණය මිසක් වෙන් කිසිදු අරමුණක් ලඟා නොවනු ඇත. අප සියල්ලෝම ලොවට දායාද කරන ලද්දේ ලොවට යහපතක් කරන්නටම පමණි.

සිය ස්වාමියාගේ තාඩන පීඩන නිසා අතොරක් නැතිව දුවන්නා වූ ගවයාට මහත් සරුවට වැඩුණු තණ කොළ පිටියක් මුන ගැසුනහොත් එතනට වී එහි රස බලන්නට පෙලඹෙනු මිසක් සිය ස්වාමියා විසින් සිදු කළ තැලීම් නිසා ඇති වූ පීඩාව ගැන මදකුත් නොසිතයි. ඒ මන්ද? එය ඔහුගේ සිතට මහත් දුකක් ගෙනදෙන බැවින්ම නොවේද?

අපට යම් යම් අවස්ථාවන් තුළදී නොයෙක් ගැටළුකාරී තත්වයන්ට මුහුණපාන්නට සිදුවෙයි. එසේම ඒ ගැටළුකාරී තත්වයන් හමුවේ නොයෙකුත් අපහසුතාවයන්ටද ලක් වෙයි. එහෙත් එහි අවසානයේදී තමන්ගේ සිතට මහා සැනසීමක් ඇති කරමින් තමන් වෙත පැමිණි ගැටළුව වාසනාවක් ගෙන දෙයි. එය ස්වභාව දහමින්ම උරුම කරන්නකි. උත්පත්තියෙන්ම අඳ ගොළු බිහිරි අයුරින් උත්පත්තිය ලබන පුද්ගලයා හැම මොහොතකම ඒ ගැන සිතමින් දිවි ගෙවන්නට උත්සහ දරන්නේ නම් එය ඔහුගේ ජීවිතයේ වැනසුමට හේතුවක් මිස දියුණුවට හේතුවක් නොවේ. එහෙත් ඔහු ඒ ගැන නොතකා මනා ධෛර්යකින් යුතුව අධ්‍යාපනයක් ලබන්නට හෝ වෙන යම් කාර්මික ශිල්පයක් හදාරන්නට වෙහෙසෙන්නේ නම් එය ඔහුගේ දිවියේ මනා දියුණුවකට පිටුවහලක්ම වනු ඇත. එවැනි ජීවිත අපමන ප්‍රමාණයක් මේ මිහිකත තුළ දිවි ගෙවනවා අප දැක නැත්තේම නොවේ. එහෙත් එදෙස බලා මනසින් අවංකවම සැනසී තම තමන් සතු අඩු ලූහුඩුකම් සකසා ගන්නවුන් මෙන්ම දැක්කත් නොදැක්කා මෙන් කටයුතු කරන්නවුන්ද ඇත.

ස්වභාව දහම තුළින් අප සත්වයෙකු අයුරින් නිර්මාණය කරමින් සමාජය තුළ නිවැරදිව හා වැරදිව නියැලීමට අවැසි සියළුම ප්‍රතිපදාවන් අපගේ මොළය තුළ මැනවින් ගබඩා කරයි. එය මැනවින් පරිහරණය කිරීම සඳහා නිවැරදිව සිතන්නට හැකි මනසක්ද අන්‍යයන්ගේ නෙත් පිනවන හා නොපිනවන මනා රූ සපුවක් ද ප්‍රදානය කරයි. අනතුරුව ස්වභාව දහම අප දෙස මනා විමසිල්ලෙන් සිට විමසන්නේ කුමක්ද? මොහු මේ සියල්ල උපයෝගී කර ගනිමින් සිදු කරන්නේ ස්වභාව දහමට හා පරිසරය තුළ දිවි ගෙවන අන්‍යයන්ට යහපතක්ද? අයහපතක්ද? ඒ බව ස්වාභා දහම විසින් අප දෙස බලා මැනවින් තීරණය කරයි. අනතුරුව එයට අනුකූලව අප විඳිය යුතු දුක හා සතුටද අප වෙත ප්‍රදානය කරයි. එය මේ අයුරින් අප විමසා බලමු.

සමාජය තුළ මනා රූ සපුවක් මෙන්ම නිරෝගී සම්පන්න දේහයක් ලබා සැප සම්පත් වලින්ද කිසිදු අඩුලූහුඩුකමක් ද නොමැතිව උපත ලබන පුද්ගලයා තමන් දෙමාපියන්ගේ අනුශාසනාවන්ට අනුකූලව අධ්‍යාපන කටයුතු තුළ මැනවින් නොනියැලෙමින් වෙනත් පරිබාහිර වූ සමාජය තුළ දූෂිත යැයි සැලකෙන අශෝභන ක්‍රියාවන් තුළ නියැලෙයි. ඒ තුළින් ඔහු මහත් විනාශයක් සිදු කර ගනී. ඒ ගැන අප විමසා බලමු.

1.    අන්‍යන්ගේ දිවි නැසීම
2.    අන්සතු දෑ පැහැර ගැනීම
3.    කාමය වරදවා හැසිරීම
4.    බොරු කේලම් පරුෂ වචන හා හිස් වදන් දෙඩීම
5.    මත් වතුර හා මත් ද්‍රව්‍ය පරිහරණය කිරීම

මේ ක්‍රියාවන් පහ තුළ තවත් පිරිස් සමග යමෙක් නිතරම නියැලෙන්නේද? එය ඔහුගේ විනාශය ඔහු තුලින්ම නිර්මාණය කර ගන්නක් වැනිය.

" ඉත්ථී දුත්තො සුරා දුත්තො "          

යනුවෙන් තිලොවට අසහාය ඇසක් බඳු බුදු පියාණන් වහන්සේ ඒ බැව් මැනවින් දේශිතය.

අප සතුව නොයෙකුත් බල පුළුවන්කාරකම් හා දස්කම් ඇත. එහෙත් ඒ දඬතාවයන් අප පරිහරණය කළ යුත්තේ සමාජය තුළ අන්‍යයන් විසින් හොඳයි යහපතයි යැයි සම්මත වූ කටයුතුම කරන්නට පමණක්ම මිසක් අයහපත් යැයි සම්මත වූ දෑ කරන්නට නම් නොවේ. දැලි පිහිය පරි හරණය කළ යුත්තේ එයින් කළ යුතු යැයි සම්මත වූ කාර්යන්ම පමණක් කරන්නට මිසක් මී කිරි කන්නට නම් නොවේ. තටු එන්නට පෙර ඉගිලෙන්නට යන පක්ෂියාට බිම ඇද වැටී මියැදෙන්නට හෝ වෙනත් සත්වයෙකුගේ කුස පුරවන ගොදුරක් වන්නේ තමන් ද නොදැනුවත්වමයි.
දුවන අසරුවෙකුට අං ලැබුනු පසු වටපිටාවේ සිටින අන්‍යයන්ද වනසාලමින් පෙරට ඇදෙන්නට වෙර දරනවා මිසක් ඔවුන් දෙස බලා හිස සලා දුවන්නටම පමණක් අදිටන් නොකරයි. ඒ ඔහුගේ ශක්තිය පෙන්වීමේ බලය යැයි වූ ඒ අවදියේදී සිතුවත් එය උගේ විනාශයට හේතුවක් වේ යැයි නොසිතයි. මනා නැණසක් ඇතියවුන් වන් මනුස්සයා ඒ බව දැන නිවැරදිව කටයුතු කරන්නේ නම් මනා දියුණුවක් දැකිිය හැක. දැලි පිහියෙන් සහ කණ්නාඩියෙන් සිදු කරන්නේ කාර්්‍යයන් දෙකකි. එහෙත් සමාජය තුළ දිවි ගෙවන්නවුන් එය එකිනෙක පටලවා ගනිමින් සිය වටිනා මිණිමුතුවන් ජීවිත අමු අමුවේ දුක්ඛිත මාර්ගයන්ට ඇද දමන්නට වෙහෙසෙයිමි. එහි ප්‍රතිඵල අපට දැක ගන්නට ලැබුනත් නොදැක්කා සේ හිඳීමෙන් තවත් එවැනිම කටයුතු කරන්නට පෙළඹෙයි.

ඉගෙනීම නැමති අවිය රුචි පරිදි පරිහරණය කරමින් ස්වකීය නැණස මෙන්ම මනසද මැනවින් මුවහත් කරන්නට තිඛෙන මේ කාල පරාසය තුළදි එය ඒ අයුරින් සිදු නොකරමින් ස්වකීය සිත තුළ උපදින අතෘප්තිකර ආශාවන් සන්තර්පනය කරන්නට යාමෙන් මුළුමහත් අනාගතයක්ම වනසා ගන්නාවූ දූ දරුවන් අද කොපමණ දුක් විඳිනවාද? ඒ ගැන මැනවින් විමසා බලා එයට සුදුසු පිලියම් මැනවින් සිදු කරන්නට දෙමව්පියන් වෙහෙසුනාද? නැහැ. බොහෝ දෙමව්පිය පිරිසක් ඒ ගැන කිසිදු තැකීමක් නොකරන්නේ තමන් සතු සියල්ල දරුවන් වෙත මැනවින් ඉටු කලා යැයි සිතමින් වුවත් පසුව සිය දූ දරුවන් තමන්ට දොස් පවසන් කල්හි ඒ ගැන විමසා බලා දුක්සුසුම් හෙලන්නට වෙහෙසෙයි. එහෙත් ඒ වන විට දරුවාගේ ජීවිතය විනාශ වී හමාරය. දෙමව්පියන් විසින් ස්වකීය දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය මැනවින් පසක් කරලනු වස් මැනවින් ඔවුන් විසින් සිදු කළ යුත්ත කරයි නම් මේ සමාජය මීට වඩා තෘප්තියක් විඳිනු ඇත. එසේම ඒ අයුරින් කටයුතු කරයි නම් මේ සමාජගත සත්වයා මෙබදු විෂමකාරී අදහස් උදහස් තුළින් ග්‍රහණය නොවනු ඇත.

ඇඳුමක් ඇඳිය යුත්තේ ස්වකීය ශරීරය තුළ ඇති නොපෙන්විය යුතු ස්ථාන නොපෙන්වීමට මිසක් එය මුළු මහත් ලෝකයාටම විදහා පෙන්වීමට නොවේ. අප සතු සියළුම අංගයන් සියළුම සත්වයන්ට සුළුවෙන් හෝ පිහිිටා ඇත. ඒ ඔවුනොවුන්ගේ ශරීරයේ නොයෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීමටම මිසක් ප්‍රදර්ශණයකට නම් නොවේ. එහෙත් ලොව තුළ දිවි ගෙවන්නවුන් සතු යම් යම් මන්ද මානසිකත්වයන් නිසා වැරදි දෘෂ්ඨීන් තුළින් ග්‍රහණය වී ඇත. කොණ්ඩය මැනවින් කපා හිස පීරා සිටිය යුත්තේ තමන්ගේ පිරිසිදුකමේ සන්කේතයක් හා තමන්ගේ හිස පිරිසිදු හා මනස තුළ අවුල් සහගත සිතුවිලි නැහැ යන සිතුවිල්ල අන්‍යයන්ට දැනවීමට මිසක් වෙන කිසිදු අදහසක් විදහා පාන්නට නම් නොවේ. එහෙත් එය වැරදියට අවබෝධ කර ගත්තවුන් කෙබඳුද? ගණනක් මිම්මක් සංතීරණය කර ගෙන ඉදිරියට කටයුතු කිරීම ඔබ සතු කාර්යකි.

අප යමක් කරන්නට අරඹන්නේ නම් එය නිවැරදිව අවසන් කරන්නටද සිහි තබා ගත යුතුයි. එසේ නොවන්නේ නම් ඒ කාර්යයේ නිවැරදි ප්‍රතිඵල ලබා ගත නොහැකිය. යම් ගමනක් යන්නට අරඹන්නේ නම් ඒ ගමන යන්නට අවශ්‍ය සියළුම බඩු බාහිරාදිය සම්පාදනය කරගෙන ඒ ගමන යන්නට සූදානම් වනු මිසක් ඒ ගමන යන අතර මග සිදු වේ යැයි සිතෙන අදෘශ්‍යමාන බාධකයන් ගැන සිහි නොකළ යුතුයි. එසේ සිතන්නේ නම් තමන්ගේ සිතට බියක් හා චකිතයක් ඇති කරමින් ඒ ගමන මැනවින් නිමා කළ නොහැකිය.

අපට ඉගෙනීම සඳහා පාසලට යන්නට අවැසි නම් ඒ පාසලට යන අතර මගදී අපට කවරාකාර හෝ අතුරු අන්තරාවන් වේ යැයි සිතමින් සිටී නම් ඉගෙනීමට කිසිදු මොහොතක හැකියාවක් නොලැඛෙයි. අපට ජලය අවශ්‍යය නම් මැනවින් ළිඳක් කපා ඒ තුළින් අපට අවශ්‍යය ජලය ලබා ගන්නට කටයුතු කරනවා මිසක් මේ ළිඳද කැපීම තුළින් නිසැකයෙන්ම ජලය ලැඛෙයිද යනුවෙන් සිතමින් සිටින්නේ නම් ජලය ඇත්තටම ලැඛෙයිද? නොලැඛෙයි නේද? ආදී කරුණු කාරණා ගැන විමසමින් සිටින්නේ නම් ඒ කිසිදු මොහොතක මැනවින් සිදුකරගෙන ඉන් ලැඛෙන නිරාමිස ප්‍රීතිය භුක්ති විදිය නොහැකිය.

ජීවිතය නැමති ඔරුව පදවන්නට හැකි වනුයේ  හබල නිවැරදිව හැසිර විය හැකි පුද්ගලයෙකුටම පමණි. එසේම ඒ ඔරුව තුළ හිඳ නිවැරදි චිත්ත ඒකග්‍රතාවකින් යුතුව පුද්ගලයෙකු කටයුතු කරයි නම් ඔහු මනා ජයක් ලබනු ඇත. තිරක් නොදැන මෙලොව උපත ලද අප යම් යම් දේ සුඑවෙන් හෝ ටිකින් ටික දැන හැදින මැනවින් සියල්ලම දැනගත් පුද්ගලයෙකු අයුරින් නිර්මාණය වන්නට උත්සහ දරන්නේ නම් එය අප සියඑම දෙනාගේ දිවියේ දියුණුවට මනා සාදකයක් වනු ඇත.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   


Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::