නිවැරදිව ගොඩ නැගෙන්නට නම්..?

තමන්ගේ මා පිය දෙපළ, කුඩා කාලයේදී තමන්ට කවා පොවා පෝෂණය කර පාසලට යවනුයේ මැනවින් ඉගෙනීමේ කටයුතු කොට රටට සමාජයට වැඩදායක සත්පුරුෂයකු වේය යන පරමාර්ථයෙනි. එසේ වුවත් ඔවුන් පාසලට ගොස් සිදු කරනුයේ කුමක්ද? ඔවුන් සිදුකළ යුත්තේ කුමක්ද? තමන්ගේ ළමා කාලය තුළදී සිදු නොකළ යුතු සෑම අකටයුත්තක්ම සිදු කරන දූ දරුවන් අවසානයේදී රටට සමාජයට මෙන්ම දෙමාපියන්ටද කරදරයක් බවට පත්වන්නේ කුමක් නිසාද? එයට වගකිවයුත්තේ කවුරුන්ද? මව්පියන් ද? දූ දරුවන්ද? පාසලේ ගුරුවරුන්ද? මිතුරන්ද? මෙය මැනවින් විමසා බැලිය යුතු කාරණයකි.


දරුවෙකු කුස පිළිසිඳ ගත් දිනයේ පටන්ම ඒ දරුවාට අම්මා තාත්තා කරන කියන සෑම කාරණයක්ම මනාව දැනෙයි. අම්මා කියන්නේ කුමක් ද? සිතන්නේ කුමක් ද? කරන්නේ කුමක් ද? එසේම තම පියාණන් අම්මාට කථා බහ කරන්නේ කෙසේ ද? මෑණියන් පියාට කථා කරන්නේ කෙසේ ද? වෛර සහගතවද, මෛත්‍රී සහගතවද? කරුණාවෙන් ද? සතුටින් ද? මැදහත් සිතින් ද? මේ ආදී සෑම කාරුණක්ම මවකගේ කුසතුළ පිළිසිඳ ගන්නා දරුවාට දැනෙයි. ඒ දරුවා පිළිසිඳගත් මොහොතේ පටන් මව්පිය දෙපළ වැරදි ලෙස කථාබහ කලා නම්, කටයුතු කළේ නම් දෙදෙනාම නිතරම සණ්ඩු සරුවල් කළේ නම් මෙලොව එළිය දකින මේ හය හතර නොදන්නා කිරි දරුවාද යමක් කමක් තේරෙන කාලයේ පටන් කරන්නේ නොහොඹිනා අකටයුතුකම් මිසක් අන් අයට ප්‍රියවන කටයුතු නොවේ. එය තමන් විසින් විමසා බලා දත යුතුව ඇත. ඒ නිසාවෙන් මුලින් සඳහන් කර ඇති සේ මේ ලෝකයට දරුවෙක් වැදූ පමණින් මවක් නොවන බවත් එම දරුවාට ආරක්ෂාව හා  පෝෂණය ලබා දුන් පමණින් පියෙකු නොවන බවද ඔබ දත යුතුය. එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? කුඩා පැළයක් පැලවීමෙන් පසුව එම පැළයට මනාව තෙල්, ඛෙහෙත්, පොහොර දමා පෝෂණය කරන්නේ යම්සේද? සමාජයේ දිවිගෙවන මව් පියවරුන් විසින් හදන වඩන දූ දරුවන් ද මෙත්තා, කරුණා, මුදිතා, උපේක‍ෂා  දී ගුණදහම් වලින් පෝෂණය කළ යුතුව ඇත. එසේ නොවන තාක්කල් මෙම සමාජයට දයාද කරන ලද සෑම දරුවෙකුම මව්පියන් නොහඳුනන, සහෝදරයින් නොහඳුනන, ගුරුවරුන් වැඩිහිටියන් නොහඳුනන පිරිසක් වනු නොඅනුමානය.

අම්මා කෙනෙකු සතු විය යුතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක‍ෂා දී ගුණ දහම් මෙන්ම පිය කෙනෙකු සතුවද ගුණ දහම් තිබිය යුතුය. එනම් ආදරය, ආරක‍ෂාව හා ආදර්ශයයි. මෙම ගුණ ධර්මයන් පිය කෙනෙකුන් සතු නොවන තාක්කල් සමාජයට දායාද කරන සෑම දරුවෙකුම පරිපූර්ණ මෙන්ම යහපත් දරුවකු නොවනු ඇත.

අද සමාජ පරිසරය තුළ දිවිගෙවන පියවරුන් තම දරුවන්ට ආදරයෙන් සළකනවාද? එම දරුවන් ආදරයෙන් සිප වැළඳ ගන්නවාද? ඔවුන් මැනවින් ආරක‍ෂා කරනවාද? එලෙසම තම දරුවන්ට ආදර්ශමත් වන අයුරින් ජීවිතය ගත කරනවාද?

අම්මේ , තාත්තේ ,  ඔබලා සතු කාර්ය භාරය මැනවින් ඉටු නොකිරීම නිසා සමාජයට පිළිලයක් වූ දරුවන් බිහිවී ඇත. එයට වගකිවයුත්තන් ඔබයි. එය ප්‍රතික්ෂේප කරන්නට ඔබට කිසිදු ඉඩක් නැත.

එසේනම් අම්මේ, තාත්තේ ඔබ විසින් සිදුකළ යුතු යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන්න. එවිට සමාජය තුළ ඇති ගැටළු මඟ හරවා ගත හැක. එසේ නොවන නිසාවෙන් අද සමාජය තුළ අනාථ නිවාස, වැඩිහිටි නිවාස ගොඩනැගෙන්නේද, ගොඩනඟන ලද මහලූ නිවාස අපගේ මව් පියන්ගෙන් පිරීයන්නේද, ඔවුන් තම යුතුකම් හා වගකීම් මොනවාදැයි යන්න මනාව අවබෝධ කොට නොගත් හෙයිනි.

ඔබ විසින් දායාද කරන දරුවාට අවශ්‍ය කරන ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව වැනි ගුණාංගයන්ගෙන් කුඩා කාලයේ පටන්ම දරුවන්ට සළකන්නට නොහැකි වන නිසා නොයෙකුත් කරදරයන්ට හා හිංසා පීඩාවන්ට පත්වන්නට සිදුවී ඇති බැව් දැන් අපි දකිමු. එසේනම් කළ යුත්තේ අනාගත දරුපරපුර ද එවැනි දරු පිරිසක් බවට පත් නොකිරීමය. අපගේ වගකීම නම් ජීවත්වන සමාජ පරිසරය තුළ සෑම අවස්ථාවකම මෛත්‍රී සහගතව, කරුණාවෙන්, මුදිතාවෙන් හා උපේක‍ෂාවෙන් මෙන්ම ආදරයෙන් ආදර්ශයෙන් කටයුතු කිරීමය. එවිට වත්මන් සමාජය පීඩා විඳින මෙම ගැටළු නිරායාසයෙන්ම අනාගත සමාජයෙන් තුරන්වනු ඇත.

නිවස තුළ උපදින කුඩා දරුවාට කුඩා කාලයේ පටන්ම හොඳ නරක කියා දෙනුයේ මාපිය දෙපළ විසිනි. එසේම  ආදරය, ආරක‍ෂාව හා අදර්ශය ලබා දිය යුත්තේ ද ඔවුන්මය. නමුත් මෙම කරුණු වත්මන් දරුවාට තම දෙමාපියන්ගෙන් නොලැබීම මත පාසලට ඇතලූු වන දරුවා මහත් ආන්දෝලනාත්මක ගැටළු රාශියකට මුහුණ දෙයි. පළමු වසරට ඇතලූ වන දරුවා සිය නිවස තුළ දී තම මාපියන් තමා ළඟට ගෙන ආදරයෙන් කථා බහ ට ලක් නොවන්නේ නම්  පාසලේ දී තම යහළුවකුට ඔහුගේ මාපියන් දක්වන ආදරය හා ආරක‍ෂාව  දැකීමෙන් ඉතාමත් කල කිරීමකට පත්විය හැකිය.

" මෙයාගේ අම්මා තාත්තා මෙයාට කොච්චර ආදරෙයිද? අපේ අම්මා තාත්තා මට එහෙම ආදරේ කරන්නේ නෑ නේද? එයට හේතුව මොකක්ද? "

ආදී නොයෙක් ගැටළු වලට මෙම කුඩා දරුවන් මුහුණ දෙනු ඇත. එහෙත් එම ගැටළු දරුවන් විසින් මව්පියන්ට හෙළි නොකරන්නේ කුමක් නිසාද? එයට හේතුව නම් තම දෙමාපියන් කෙරෙහි ඇති බියයි. සමහර විටක තම මව යක්ෂණියක් මෙන් කථා බහ කරන  නිසා විය හැකිය. එසේම තම පියා මත්වතුර පානය කර නිවසට පැමිණ නොයෙක් අයුරින් තම මවට හා දරුවනට තාඩන පීඩන කරන නිසා ද විය හැක. කුඩා කල දරුවන් තම මව්පියන් කෙරෙහි ඇතිවන බිය නිසා තම සිතෙහි ඇතිවන නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට මැලි වනු ඇත. ඔවුන් එම අදහස් සිතෙහි සිරකරගෙන මහත් පීඩනයකින් ජීවත්වෙයි. එසේම මෙම දෙමාපියන් ද තම දරුවාගේ මානසික පීඩනය වටහාගැනීමට උත්සාහ නොගනී. මෙයට හේතු රාශියක් තිබිය හැක. ආර්ථීක අපහසුතාවයන්, නැතිනම් වෙනත් මානසික ගැටළු හා සාමාජීය වශයෙන් ඇතිවන ප්‍රශ්න, ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර ඇතිවන ලිංගික ගැටුම් ආදිය හේතු ලෙස දැක්විය හැක.

අප සමාජයේ සිටින සමහර දෙමාපියන් දරුවන් වෙනුවෙන් ඉතාමත් හොඳින් ඇපකැප වී සිටිති. ඔවුන් මා පිය සබඳතාවය ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන සිටින අතර පවුල යන සංකල්පයද හොඳින් අවබෝධ කරගෙන සිටී. එවැනි පවුලක සිටින  මව පියා තම දරුවන් පාසලට කුඩා කල යොමු කරන්නේ

" මාගේ දරුවා හොඳින් අධ්‍යාපනය ලබා සමාජයේ උසස් ස්ථානකට යා යුතුයි "

 යන පරමාර්ථයෙනි. මෙම පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා කුලී වැඩක් හෝ ගොවිතැනක් හෝ අන් කවර හෝ කටයුත්තක නියැලී සොයා ගන්නා මුදලෙන් තම දරුවාට අවැසි කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදී සියල්ලම කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදී දෙමාපියන් කුසගින්නේ සිටින වාර අනන්තය. දරුවනි , මේ කුමක් නිසාද? තමන්ට යා නොහැකි වූ ස්ථානයකට තම දරුවා හෝ යවන්නට දෙමාපියන් තුළ ඇති අවිහිංසක ආශාව නිසාය. තම දරුවා උගත් බුද්ධිමත් පුරවැසියෙකු වේය යන පරමාර්ථයෙනි. මා පියන් තම දරුවාගේ වරදක් දුටු තැන කියා දී හෝ දඩුවම් කර එය පෙන්වා දෙන්නට උත්සාහ කරයි. ඒ තම දරුවා කෙරෙහි ඇති අසීමිත ආදරය හා දයාව නිසාවෙනි. එසේ නොවන්නට දරුවාට අවශ්‍ය  කෑම බීම ඇඳුම් පැළඳුම් පමණක් ලබාදී පසෙකට වී බලා හිඳින්නට තිබුණි. එහෙත් එසේ නොකළේ කුමක් නිසාදැයි ඔබ වටහා ගත යුතුය.
   
අප සෑම කෙනෙකුම ජීවිතය ගත කරන්නට, ජීවිතය නම් රිය පදවන්නට හුරු කරවූවකු සිටිය යුතුය. එය හුරු කරවන පළමු නියමුවන් වන්නේ දෙමාපියන්ය. බුදුරජාණන් වහන්සේ මාපිය දෙපල පළමු ගුරුන් සේ සළකා ඇත්තේ එබැවිනි. මෙම ගුරුන් විසින් මඟ පෙන්වා දෙන ආකාරය මත යහමග ගිය දරුවන් සේම නොමග ගියවුන්ද අප්‍රමාණව අපට හමුවේ. දරුවන් නොමග යාමට, පෙර මා සඳහන් කළ පරිදි පවුල් තුළ ඇති ආර්ථීක හා සාමාජීය ප්‍රශ්න සෘජුවම බලපා ඇත. තරුණ පිරිස් තම සිත තුළ ඇති පුහුදුන් අදහස් පාලනය කරගත නොහැකිව  තම අධ්‍යාපනය මෙන්ම අනාගත ජීවිතයද විනාශ කර ගැනීම හා පසුව විවාහ ජීවිතයට එළඹීමෙන් අනතුරුව ඇතිවන පෙර සඳහන් කළ ගැටළු මත තම දරුවන්ද පරිහානියට පත්වේ. මෙම කරුණු අප බුදු රජාණන් වහන්සේ විසින්ද දේශානා කර ඇත.

" අත‍ථී භික්ඛවේ සත්තානං යොබ්බනෙ යොබ්බන මදො යේන මදේන
මත්තේන කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසාය දුච්චරිතං චරංති "
   

" මහණෙනි, සත්වයින්ගේ තරුණ කාලයේ දී ඒ තරුණකම නිසා ඔවුන්ගේ සිත තුළ හටගන්නා තරුණ මදයක් ඇත. එකල්හි ඔවුන්ගේ සිතින් කයින් වචනයෙන් වැරදි ලෙස හැසිරෙති "
මෙය බුදුන් වහන්සේ දේශනා කළේ මීට අවුරුදු දෙදහස් පන්සියයකට පමණ ඈත ඉතිහාසයේ දීය. නමුත් අදටද එය එසේම වලංගු බව පෙනී යයි. තරුණ මදය නිසා තමන් කරන්නේ කුමක් ද? කළ යුත්තේ කුමක්ද? ආදි කරුණු කාරණා කිසිවක් වටහාගත නොහැකිය. එහෙත් මේ අතර මනා සිහි නුවණින් කටයුතු කරන අයෙකු සිටිය හොත් ඒ කරුණු කාරණා දැන හඳුනාගෙන නිවැරදි අකාරයට සිය ජීවිතය ගත කරන්නට උත්සාහ කරයි. එහෙත් එය වටහා නොගෙන වැරදි ලෙස දිවිගෙවන සෑම කෙනෙකුටම අවාහ විවාහ වීමෙන් අනතුරුව ඉහතින් දක්වන ලද ගැටළුවලට යම් යම් මට්ටම් වලින් මුහුණ දීමට සිදුවනු ඇත.

එසේනම් වරද සිදුකරගෙන ඇත්තේ තමන් විසින්ම නේද? අම්මේ, තාත්තේ, ඔබලා ඔබේ කුඩා අවධියේ සිදු කළ යම් යම් වැරදි මත හෝ ක්‍රියාදාම චර්යාවන් ඔබේ දරුවා අනාගතයේ සිදු කරන දූෂණ හා භීෂණයන්ට වගකිව යුත්තන් බවට පත්වනු ඇත. ඔබට අධ්‍යාපනය ලබා ගන්නට සුදුසු පරිසරයක් ඔබේ මව්පියන් දෙපළ විසින් ලබා දුන්න ද ඔබ එයින් ප්‍රයෝජන නොගත්තේ මන්දැයි විමසා බැලිය යුතුය. එසේම පසුතැවිලි විය යුතුය. එහෙත් ඉන් ඵලක් ඇතිදැයි අප මැනවින් විමසා බැලිය යුතු කාලයයි මේ.

එදා ඒ ඔබගේ මව්පිය දෙපළ  කළ වරදම අද දිවි ගෙවන දරුවනි ඔබ කරනවාද? එසේ නම් එම කාර්යයම කිරීමෙන් ඔබේ මාපිය දෙපළ මෙන් ඔබත් අනාගතයේ දී දුක් විඳිනවාද? නැත දූ දරුවෙනි, ඔබට එලෙස දුක් විඳින්නට සිදුවන ලෙස කටයුතු නොකරන්න. ඔබ නිසි ලෙස ඉගෙනීම නැමති අමාදිය දහර පානය කර යහපත් ශක්තිමත් මෙන්ම බුද්ධිමත් සත් පුරුෂයන් ලෙස ජීවිතය ගෙවන්නට හුරු පුරුදුවන්න. ඔබට එම කාර්ය කරන්නට නොහැකියාවක් නැත. ඔබට එම කාර්යය කිරීමට හැකියාව හා ශක්තිය මැනවින් තිබේ. අවශ්‍ය වන්නේ උත්සාහය හා උනන්දුව පමණි. ඔබ විසින් කරන කෙලි කවටකම් පසෙකට දමා මදක් මේ පිළිබඳව සිතන්න.

අපේ අම්මා, තාත්තා ජීවත්වීම සඳහා කරන රැකියාව කුමක්ද? ඒ කරන රැකියාවෙන් ලැඛෙන ෙවිතනය අපට ජීවත්වීමට ප්‍රමාණවත් ද? අප හොඳින් කා බී ඇඳ පැළඳ සතුටින් ජීවත්වනවාද? අපේ නිවෙස් අලංකාර ලෙස නිමවා ඇත්ද? අපේ අම්මා තාත්තා සෑම දිනකම රණ්ඩු සරුවල් වෙනවාද? එසේනම් ඒවාට හේතු මොනවාද? නිවසේ අඩුපාඩුකම්ද? වෙනත් හේතුවක් ද? පියා හවසට ගෙදර පැමිණෙන්නේ මත් වතුර බීලද? එහෙමත් නැත්නම් සිනාමුසු මුහුණින් පුතේ දුවේ කියමින් කථා කරමින් ද?

ආදී කරුණු කාරණා තම සිතෙන් මැනවින් අසා විමසන විට තමන්ට වැටහෙන්නේ කුමක් ද? ඔබට ඒ සිතෙන අදහස් සියල්ලම ඔබේ අනාගතය සැකසීම සඳහා උපයෝගී කොට ගන්නා ගල්, වැලි, ගඩොල්, ලී දඩු ලෙස යොදා ගෙන ඔබ ඔබගේ ජීවිතය මනා අඩිතාලමකින් යුත් අලංකාරව නිර්මාණය කර ගන්න. එය වැස්සට, පින්නට නොතෙමෙන වහලක් ඇති කාගේත් නෙත් සිත් පිනවන නිවහනක් මෙන් නිර්මාණය කරන්නට උත්සාහ කළ යුතුව ඇත. ඒ උත්සාහය ඇරඹිය යුත්තේ ද ඔබ විසින්මය. එසේම අරඹන ලද උත්සාහය නිම කළ යුත්තේ ද ඔබ විසින්මය. එය ඔබට කළ හැකිය. කළ නොහැකි කාර්යයක් නොවනු ඇත.


Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::