෴ මිනිසුන් පිරිහෙන්නේ මේ හින්දලු ෴














සංයමයෙන්  යුතුව පැවති අසංයමයෙන් යුතු චිත්තයන් තුළ ඇති වන සිතුවිලි නිසාම සෑම සත්වයෙකුටම දුක්ඛිත මෙන්ම පීඩිත
මානසිකත්වයෙන් යුතු ජීවිත ගත කරන්නට විශ්වයේ ආරම්භයේ පටන් දැනුදු විදින්නට සිදුව ඇත. ඒ සියල්ල ඒ අයුරින් සිදු වී ඇත්තේ මිනිසුන්ගේ සිත තුළ උද්දීපනය වන අසීමිත අතෘප්ති කර ආශාව නිසාම බව මැනවින් විමසා බලන්නෙකුට පසක් වනු ඇත.දිළිදු පුද්ගලයන්ට ඒ තත්වය හිමිවූයේ අසීමිත ආශාවන් සංතර්පනය කර ගන්නට ගොස් ස්වකීය වස්තු සම්පත් වැරදි අයුරින් භුක්ති විදීම නිසා බව අපට පැහැදිලිය. එසේම වත් පොහොසත්කමින් කිසිදු අඩුවක් නැති මිනිසුන් ඒ අයුරින් දිවි ගෙවන ලද්දේ ඒ පුද්ගලයන් විසින් පොහොසත් කම් වළින් පරිපූර්ණ වනු වස් නොයෙක් වෙහෙස මහන්සියක් දරා ධාර්මික දිවියක්ම ගත කරන්නට කටයුතු කළ නිසාම නොවේද? දැනුදු ලෝකයේ පවතින ස්වභාවය එයම නොවේද?

 
යමෙක් උත්පත්තියෙන්ම බොහෝ ධන ධාන්‍යය වස්තු සම්පත් වලට උරුමකම් කියන්නෙකු වන්නේද? ඔහුට ඒ ගැන කිසිදු වගකීමක් නැති පුද්ගලයෙකු අයුරින් කටයුතු කළ හැකිය. ඒ මන්ද? ඔහු ඒ වස්තු සම්පත් සොයා සපයා ගැනීමට කිසිදු වෙහෙස මහන්සියක් නොවූ නිසාවෙනි. එහෙත් යමෙක් ස්වකීය ධන ධාන්‍ය වස්තු සම්පත් සොයා ගැනීමට මහත් වෙහෙසක් දරන්නේ නම් ඒ තැනැත්තා ඒ වස්තුව මැනවින් පරිශීලනය කිරීමටත් රැක ගැනීමටත් නැණසින්ම උත්සහ දරයි.

දිනක් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා මෙසේ දේශිතය. මහණෙනි තමා තමාට පිහිට කර ගෙන වාසය කළ යුතුයි. අන්‍යන්ගේ පිහිටක් තමන්ට කිසිදු මොහොතක කිසිදු අයුරකින් ලද නොහැකිය. තමන්ගේ ශරීරයත් සිතත් වේදනාවනුත් ධර්මයත් යන කරුණු හතරෙහි සිහිය පිහිටුවා ගනිමින් දැඩි ලෝභකමත් අමනාපයත් දුරුකොට නුවණින් යුතුව වාසය කළ යුතුයි.

එසේම මහණෙනි පෙර දළ්හනේමි නම් සක්විති රජ කෙනෙක් වාසය කළේය. එතුමා වටිනා සම්පත් හතක් ලැබී තිබිණි.

1.    චක්‍ර
2.    හස්ති
3.    අශ්ව
4.    මැණික්
5.    භාර්යාව
6.    ගෘහපති
7.    පුත්‍ර

මේ සම්පත් හිමිවූ දළ්හනේමි රජු ස්වකීය රාජ්‍ය සිය වැඩිමහල් පුතුට භාරදී පැවිදි විය. එම පුතු ටික දිනක් රාජ්‍ය කටයුතු සිදු කරමින් සිටින විට චක්‍ර රත්න හතම අතුරු දහන්විය. ඒ නිසා මේ රජු කණගාටුවෙන් යුතුව තම පියා වන දළ්හනේමි තාපසයා වෙත ගොස් ඒ බව සැලකලහ. එවිට පියා විසින් මෙසේ දේශිතය.

මහ රජතුමණි..එම සම්පත් ලැඛෙන්නේ සක්විති ගුණදම් රකින කෙනෙකුට පමණි .පියාගෙන් පසු පුතුට උරුමවන්නේ නැත. එය නැවත ලබා ගන්නට නම් මේ සක්විතිවත් සමාදන් වී රැකීමෙන් නැවතත් එම වස්තු ලබා ගැනීමට හැකියාව ඇත. ඒ කවර නම් වතක්ද?

1.    දස කුශල් කරමින් සිය අඹු දරුවන් රැක බලා ගැනිම
2.    තම යුධ සෙනගටද සංග්‍රහ කොට රැක බලා ගැනීම
3.    වෙනත් රජවරුන්ටද සංග්‍රහ කොට රැක බලා ගැනිම
4.    පැවිදි උතුමන්ටද සංග්‍රහ කොට රැකබලා ගැනීම
5.    ගම් වසියන්ට හා ජනපද වැසියන්ට ද සංග්‍රහ කොට රැක බලා ගැනීම
6.    ගෘහපතියන්ටද සංග්‍රහ කොට රැක බලා ගැනීම
7.    සිව් පාවුන්ටද , පක්ෂීන්ටද හිරිහැර නොකර රැක බලා ගැනීම
8.    තම රටේ වැරදි වැඩ නොකරන පරිදි කටයුතු කළ යුතුයි
9.    දුප්පතුන්ට ධනය දිය යුතුයී
10.  සිල්වත් පැවිදී  උතුමන්ගේ අවවාද අනුශාසනා පිළිපැදිය යුතුයී

මේ වත්දහය ඒ අයුරින්ම සමාදන්ව වාසය කළ රජුට අතුරුදහන් වූ සප්ත රත්නය නැවත ලැබිණි. එය මුල් කර ගනිමින් රාජ්‍ය කටයුතු මැනවින් සිදු කරමින් අන්‍ය දිවයින් වල රජවරුන්ටද මෙසේ අනුසාශනා කළේය. එනම්...

1.   සතුන් මැරීමෙන් වළකින්න
2.   සොරකම් නොකරන්න
3.   කාමය වරදවා නොහැසිරෙන්න
4.   බොරු නොකියන්න
5.   මත් වතුර, මත් ද්‍රව්‍ය පරිහරණය නොකරන්න

ඒ රජු අනුසාශනා කළ අයුරින් අන්‍ය  රජවරුද ඒ කරුණු මැනවින් පිළිපැද ස්වකීය රාජ්‍ය කටයුතු යහපත් අයුරින් සිදු කළහ. මේ අයුරින් රජවරු සත් දෙනෙක්ම එම රාජ්‍ය කටයුතු දස සක්විතිවත් සපුරමින් පාළනය කළ නිසා කිසිදු ගැටලූවක් එම සමාජය තුළ පැන නොනැගිනි .නමුත් සත්වැනි රජතුමාගේ පුතාට රාජ්‍ය හිමි වූ පසු තමන්ට සිතූ අයුරින් රාජ්‍ය කටයුතු මෙහෙය වන්නටත් හැසිරෙන්නටත් පටන් ගත්තේය. ඒ නිසා මුලූ රාජ්‍යම පිරිහෙන්නට විය. ඒ ගැන විමසා බැලු ඇමතිවරුන්ට රජු සක්විත්වත් නොපුරන බව වැටහිනි. ඇමතිවරු ඒ බව රජුට පැහැදිළි කර දුන්නද රජු ඒ අනු වකටයුතු කරමින් දිළිදුන්ට ධනය නොදුන්නේය. ඒ නිසා දිළිදුකම වැඩි විය.


" අධනානංධනේඅනුප්පදීයමානේ දාළිද්දියංවේපුල්ළමගමාසි "


දිළිදුකම නිසා ඔවුනොවුන් හොරකම් කරන්නටවිය. දීනක් හොරකම් කළ එක් පුද්ගළයෙකු අල්ලා ගෙනැවිත් රජු හමුවට පමුණූවන ලදි. අනතුරුව රජුගෙන් ධනය ලබා ගැනීමේ දැඩි ආශාවෙන් අන්‍යයන්ද සොරකම් කරන්නට පටන් ගත්තේය. රජු ඒ අසා සොරකම් කරන්නවුන්ට මරණ දඩුවම නියම කළේය. පසුව ධන හිමියන් මරා ධනය ගන්නට විය. ඒ නිසාම අවිආයුධ නිපද විය. එවිට සොරකමත් මිනී මැරීමත් යන දෙකම වැඩි විය. එය හේතු කොට ගෙන මිනිසුන්ගේ ආයුෂද පිරිහිණි. පරපුරෙන්  පරපුරට මිනිසුන් ජීවත් වන කාලයද පිරිහී ගියේය.

යමෙක් සොරකම් කර හසුවී දඩුවමින් මිදීම සදහා අපි සොරකම් නොකළෙමු යැයි බොරු කීවේය. ඒ නිසා තවත් ආයුෂ පිරිහිණි. එක් මිනිසෙක් තවෙකෙකු කරන සොරකමක් දැක රජුට කේළම් කීවේය. එවිට කේළම් කීම ඇති විය. එසේම අවලස්සන අය ලස්සන රූ සපුවෙන් යුතු අය කෙරෙහි ආශාව ඇති කොට පරදාර සේවනයෙහි යෙදුනි. මේ නිසා කාමය වරදවා හැසිරීම ඇති විය. එසේම එය මුල්කොට ඔවුන් අතර පරුෂ වචන හා හිස් වචනද කථා කිරීමට පෙළඹිනි. එසේම ලෝභකම, තරහ මෙන්ම ක්‍රෝධය වෛරය ආදී අගුණ දහම්ද නිමැවිනි. ආයු පිරිහීම හා වර්ණයන්ගෙන් පිරිහීම නිසාම මොවුන් අතර දෙමාපියන් හා මහණ බමුණන් කෙරෙහි වරදවා පිළිපදින්නට පෙළඹුනි. වැඩිහිටියන් හා මහණ බමුණන් කියන්නේ යමක්ද? එය නොපිලිපදිමින් වැරදි කරන්නටම පෙළඹුනි. එය මුල්කර ගනිමින් තවත් ආයුෂ පිරිහී ගොස් පරමායුෂ අවුරුදු සියය දක්වා පිරිහී ගියේය. ඒ නිසා අවුරුදු පහක් වයසැති කුමරිය විවාහපත් විය යුතු යැයි නීතියක් විය. වෙඩරු,මී,සකුරු,ලූණු ආදියෙහි රසය අතුරුදහන් වී ගියේය. සෑම තැනකම දස කුසල් අතුරු දහන් වී දස අකුසල් පිරිහිණි. කුසල් කරන්නෙකු තබා කුසල යන වචනය මුමුනන්නෙකු ද සොයා ගැනුමට පවා නොහැකි විය. දෙමාපියන්ට හා  පැවිදි උතුමන්ට යමෙක් නොසලකයිද? ඔවුන්ට මහත් ප්‍රශංසාවන් ලැබිණි.


තමන්ගේ මව, නැගණිය යන කිසිදු විශේෂයකින් තොරව කාමයෙහි වරදවා හැසිරුණි. ඔවුන් හරියට තිරිසන්ගත සතුන් හා සමාන විය. සිතූ සිතූ තැනිහිදී මෛතුන සේවනයෙහි නියැලෙන්නට පෙළඹුනි. වැද්දෙකුගේ නෙතට මුවෙකු ගැටී එම මුවා මගහැරීමෙන්  පසු මහත් කෝපයක් ඇතිව එම මුවා පසු පසම හඹා ගොස් මරා මස්කර බුදින්නට යන්නාක් මෙන් මව්පියන්, සොහොයුරන්, නෑදෑ හිතමිතුරන් ආදී සියලූම දෙනා සිව්පාවුන් වැනි අයුරින් පෙනෙන්නටත් එලෙස කටයුතු කරන්නටත් පෙළඹිණි. ඒ නිසාම ඔවුන්ගේ අතට හසුවුණු සියලූම දෑ අවිආයුධ අයුරින් ඉබේම නිර්මාණය විය. ඒ අවිආයුධ හේතු කොටගෙනම ඔවුනොවුන් එකිනෙකා කපා කොටා ගෙන මරාගෙන විනාශයට පත් වන්නේය.


මේ නිසා එකිනෙකා සිතන්නේ දෙදෙනෙකුට එකතැන සිටීම සුදුසු නැත. ඒ නිසා අප තනිතනිව වනලැහැබ් වෙතට ගොස් අලමුල් පලා කමින් දවස් ගෙවිය යුතුයැයි සිතා කදුකර ප්‍රදේශ හා වනලැහැබ් වෙතටම ගියේය. එහි සිට ඔවුන් කල්පනා කරන විට මේ විනාශයට හේතුව කුමක්ද යන වග ඔවුන්ට වැටහෙනුයේ මෙයට හේතුව කුමක්ද යන වග ඔවුන්ට වැටහෙනුයේ මෙයට හේතුව දස කුසල් නොකිරීම නිසායැයි සිතා නැවත ඔවුන් දස කුසල් කරන්නට පෙළැඹිනි. ඒ නිසාම නැවත ආයුවර්ණ දෙකින් පිරිපුන් පෙරමෙන් මිනිසුන් බිහිවිණි.


ඒ බිහිසුණු සත්වයින්ට බඩගින්නත් ආහාරය නැති නිසා ක්ලාන්ත ගතියත් මහල වීමත් හැර වෙනත් කිසිදු රෝගාබාධයක් නොවුණි. එවිට බරණැස් නුවර කේතුමතී නම් රාජධානිය තුළ සංඛ නම් චකූවර්ති රජ කෙනෙක් පහළවන්නිය. ඔහු සතුව සප්ත චක්‍රරත්නද පහළ වන්නේය.


සංඛො නාම සො රාජා

අනන්ත බල වාහනො

සත්රතන සම්පන්නො

චක්ඛවත්ති මහබ්බලො


එදවසම මෛත්‍රී නම් බුදු කෙනෙකු පහළ වන්නේය. උන්වහන්සේ මහජනයාට මුල මැද අග යහපත් ධර්මයම දේශණා කරන සේක. දහස් ගණන් භික්ෂූන් වහන්සේලා සසුන තුළ පැවිදිවන සේක. එම රාජ්‍ය තුළ ඇති සංඛ නම් රජුද බොහෝ දන් පිංකම් කොට එම බුදුන් වහන්සේගෙන්ම බණ අසා පැවිදි වී රහත් භාවයට පත්වන්නේය. තමාම තමාට පිහිටකොට වාසය කරන්නට වෙරදරන්නාක් මෙන්ම ඒ අයුරින්ම සිදු කරයි.

මාරයාගේ බලය තරම් මැඩ පැවැත්වීමට පහසු තවත් එකදු බලයක්වත් නැත. රහත් බලයෙන් මාරයාගේ සියලූ බලය මැඩ පැවැත්විය හැකිය. කුසල් දහම් සමාදන්වීම නිසා පින් හා එහි විපාක දියුණු වේ.


ජීවිතයේ සැබෑ සැනසීම හා විමුක්තිය පත්න්නේ යමෙක්ද? ඒ සියලූම දෙනා ඉහත සදහන් කරන ලද සෑම කරුණක්ම මැනවින් රැකිය යුතුය. යමෙක් ස්වකීය ජීවිතය තුළ සැප සම්පත් විදීමේ ආශාව මුලි කරගෙන අයහපත් අගුණදම් පරිශීලනය කරමින් කටයුතු කර ධනය උපයා දිවි ගෙවයිද? ඔවු ස්වකීය ඵලය නිසාම විනාශයට පත්වන හුණ ගස මෙන් විනාශයට පත් වන්නේය.


සංසාරය නැමැති සිපිරි ගෙය තුළ පහණක් දල්වා මෙන්න මේ මග තුළ ගමන් කරමින් සැනසුම හා විමුක්තිය සලසා ගත හැකි යැයි යමෙක් යමෙකුට හෙලි පෙහෙළි කරමින් ඔහුද ඒ තුළ ගමන් කරයිද එයම ඔහුගේ විමුක්තියට එකම මග හා විමුක්ති රසයට පිළිපන් මංපෙත වනු ඇත.


මුලූමහත් ලෝකයේම සැනසුම සොයා වැනසුමට යන හා වැනසුම උදාකර ගනිමින් දුක්ඛිත අන්ත අසරණ දිවි පෙවෙතකට උරුමකම් කියන්නො අපමණය. ඒ සියලූම දෙනාගේ විමුක්ති රසය අමිහිරි රසයක් අයුරින් නිමවාගෙන ඇත්තේ ඔවුන් විසින්ම නොවේද? එවුන් විසින්මයි. අප එය සිදු වූ අයුරු අපගේ මනසින් හා නැණසින් විමසා බලමු.


දරුවෙකු මව්කුස පිළිසිද ගැනීමෙන් පසු දෙමාපිය දෙපල විසින් ඒ දරුවාව නිවැරදිව රැක බලා ගැනීමටත් මෙලොවට දායාද කිරීමෙන් පසුව ඔහුට අවශ්‍ය පෝෂණය ලබා දීමටත් යමක්කමක් තේරෙන අවදියට පැමිණි පසු සමාජය තුළ දිවි ගෙවිය යුතු ආකරයත් මැනවින් පැහැදිළිකර දෙනු ලබයි. එසේම ඒ දරුවා ලෝකය තුළ විකාශනය විය යුතු අයුරුද පහදා දෙයි. ඒ මනා දැනුමක් ඇති මාපිය දෙපල සතු කාර්යක්ම වෙති.


දෙමාපියන් තුළ දරුවන්ගේ උපතේ පටන් මැරෙන මොහොත දක්වා සිදු විය යුතු කරුණු පහක් දේශිතය.


1.  පවින් වළක්වති

2.  යහපතෙහි යොදවති

3.  ශිල්ප උගන්වති

4.  සුදුසු පරිදි ආවාහ විවාහ කරවති

5.  නිසිකළ දායාද හිමි කරති

එදා සමාජය තුළ මෙය මේ අයුරින්ම සිදු වුණ නිසා සමාජය තුළ අද තරම් ගැටලූකාරී පරිසරයක් ගොඩ නොනැගුණි. එහෙත් අද සමාජය තුළ හැම මොහොතකම ගැටලූවක් හා තරගකාරී වැඩ පිළිවෙලක් මිසක් වෙන කිසිවක් සිදු නොවේ. ඉහතින් සදහන් කරන ලද දෙමාපියන් විසින් දරුවන්ට ඉටුවිය යුතු කටයුතු වෙත පෙරළා උපකාර කළ යුත්තේ දූ දරුවන් වෙතිනි. එ මෙසේය.

1. ආහාර පානාදියෙන් පෝෂණය කිරිමෙන්

2.  ඔවුන්ගේ කටයුතු කර දීමෙන්

3.  කුළ පරපුර රැක ගැනීමෙන්

4.  දායාද නිසි පරිදි භුක්ති විදීමෙන්

5.  මියගිය දෙමාපියන්ට පිං පැමිණවීමෙන්

මේ කාර්යන් පහද ඒ අයුරින්ම දෙමාපියන්ට ඉටුකරන්නේ නම් එතනද කිසිදු ගැටලූකාරී පරිසරයක් ඇති නොවේ. එහෙත් මේ ලෝකය තුළ මේ කාර්ය සිදු නොකිරීමෙන් මහත් ගැටලූ රාශියක් පැන නැගී ඇත. මෙය සිදු කරන්නට නිශ්චිත කාල පරාශයක් නොමැත. නිවැරදි කළමණාකරණයක් නොමැත. මේ කළමණාකරනය නැති කරගෙන ඇත්තේ කෙළෙසද?

අද සමාජගත බොහෝ දාර්ශනිකයින් හා ඒ දාර්ශනිකයින් අදහන ආගම් තුළින් බුදු දහමට නොයෙක් දෝෂාරෝපණ එල්ල කරයි. ඒ කුමක්ද? බුදු දහම තුළින් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්නට හැකි නම් ඇයි මෙච්චර බෞද්ධයින් පිරිසක් දුක් විදින්නේ? මේ ප්‍රශ්නය මුලූමහත් ලෝකයක්ම අසන ප්‍රශ්නයකි.එසේම ඔවුන් ඒ ප්‍රශ්නය විමසනවාසේම ඒ ගැටලූවට පිළිතුරද ඔවුන් විසින්ම සොයාගෙන හමාරය. ඒ කුමක්ද?


විශ්වයේ ආරම්භයේ පටන් සිදුවී ඇත්තේ මනුෂ්‍යාගේ සිත තුළ ඇති වූ අසීමිත අතෘප්තිකර ආශාව නිසාම ලෝකය තුළ සිදුවූ විපර්යාස මිසක් වෙන කිසිවක් නොවේ. මිනිසාගේ ශරීරය තුළ ඇති පංච ඉන්ද්‍රියන් වන


1. ඇස

2. කණ

3. නාසය

4. දිව

5. ශරීරය

යන පසිදුරන් පිනවීමටම නිතරම වෙර දරන නිසා හා ඒ ඉන්ද්‍රියන් ස්වකීය චින්තනයට අනුකූලව සන්තර්පනය කරගන්නට නොහැකි වීම නිසාම ගැටලූකාරී චින්තනයක් ඔවුන්ගේ මනස තුළින්ම නිමවාගෙන ඇත. මනුෂ්‍ය චින්තනය තුළ උපදින යම් ආශාවක් ඇත්ද? එය කෙදිනකවත් කිසිදු අයුරකින් සන්තර්පනය කර තෘප්තිමත් කර අවසානයක් දැකිය නොහැක. එය ලෝකයේ ස්වභාවය හා පැවැත්මද වනු ඇත.

සවභාව දහමට අවශ්‍ය මේ ලොකය පවත්වාගෙන යාමට මිසක් උපදින හැම සත්වයාටම නිවැරදි සත්‍යය මෙය යැයි පැහැදිළි කර සැප සම්පත් තුළින්ම පමණක් සරු වූ දිවියක් ගෙවන්නට සලස්වා මරණයට පත් කිරීම නොවේ.ස්වභාව දහම විසින් සිද්ධ කරන්නේ සත්වයා විසින් සිදු කරන ලද හොද හා නරක යන ක්‍රියාකාරකම් දෙකේ ඵලයට අනුකූලව සත්වයා මෙලොව ජීවත් කරවීම පමණි. ඒ අනුවම ස්වභාව දහම කටයුතු කරයි. එසේ නම් මිනිසා සතු කාර්ය කුමක් විය යුතුද?


අන්ධ භූතො අයං ලොකො
තනුකෙත්ථ විපස්සතී

සකුන්තො ජාලමුත්තොව

අප්පො සග්ගාය ගච්ඡතී


මේ පුහුදුන් ලොකයාම අන්ධය. ටික දෙනෙක්ම මෙහි ඇති තතු දනිත්. දලෙන් මිදුනු කුරුල්ලෙකු මෙන් ටික දෙනෙක්ම සුගතියට යයි.


Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::