:::: ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම ::::

ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම කරන හැම ක්‍රියාවකටම මුල්වන්නේ සිතයි. සුදු කළු යැයි ක්‍රියා දෙවර්ගයකි. එයම හොද නරක ලෙසද යහපත් අයහපත් ලෙසද කුසල් අකුසල් ලෙසද පින් පවු ලෙසද විග්‍රහ කළ හැක. දෙපරිදි වූ මේ ක්‍රියාවන් සිදුවන්නේ මනස මුල් කර ගෙනය. එනිසා සත්වයා සතු ෂඩේන්ද්‍රියන්ගෙන් වැදගත්ම අංගය මනසයි. ඒ බව මෙයින් දත යුතුය.

" මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා
  මනසා චේ පසන්නේන බාසතිවා කරොතිවා
  තතොනං සුඛමංවේති ඡායාව අනපායිනී "


යන ධම්මප පද ගාතාවෙන් වඩාත් තහවුරු වේ. කෙනෙකු කරන කටුතුවළ ශේෂ්ඨ බව හා පහත් බව තීරණය වන්නේද මානසික පරිසරය අනුවය. රෝගියෙකු සුවපත් කිරීමේ චේතනාවෙන් වෛද්‍යවරයෙක් රොගියෙකු කැපීම, පෙළීම හා කෙනෙකුට නපුරක් කිරීමේ චේතනාවෙන් කැපීම, පෙළීම මත ඇත්තේ මෙම මානසික පරිසරයේ ස්වභාවයයි.

පුද්ගලයා විවිධ කාර්යන් තුළ නියැලෙයි. ඔහුගේ ජීවිතයේ ඒ ඒ අවදිවලදී එයට අදාළ විවිධ කාර්යන් ඉටු කිරීමට සිදුවේ. ඒ කාර්යන් වළ ප්‍රතිඵලය තමන්ට හෝ අනුන්ට විය හැකිය. කෙසේ වෙතත් කුමන පාර්ශවයකට හෝ ප්‍රතිඵලය ලැඛෙන බව කිව යුතුය. එනිසා ඵලය ඇතිවන හේතුව වූ කාර්යය පිරිසිදු එකක්ම විය යුතුය. අපිරිසිදු වුවහොත් ප්‍රතිඵලයද අයහපත් වන බැවිනි. හේතුව හෙවත් කාර්යය පිරිසිදු එකක් බවට පත්කර ගන්නට හැක්කේද ඔහුටමය. තමන් කරන ක්‍රියාව දෙස මනස යෙදීමෙන් එය කළ හැකිය. යුනෙස්කෝ ප්‍රඥප්තියේ ආරම්භක පාටය වන්නේ " යුද්ධය හට ගන්නේ මිනිස් සිත්වලය " එබැවින් සිතේ හා සිතිවිලි වල ප්‍රතිඵලය කෙබදු ද යන්න ඉන් මනාව ගම්‍ය වේ.

ජන සමාජය කුමක් වුවද එය පරිහානියට නොමගට යුද්ධයට ත්‍රස්තවාදයට පරිවර්තනය කළ හැක. එපරිද්දෙන්ම එය සමාජයේම දියුණුවට, සුමගට, සාර්ථකත්වයට, උද්‍යෝගයට සාමයට, සංහිදියාවට යොමුකළ හැක. බහුවිධ භූමිකා රංගනයක නිරතව සිටින පුද්ගලයා අන්අයගේ ක්‍රියා පිලවෙත පිළිබදව විමසීමෙන් කළ කිරීමට තැවුලට පත්වේ. ඒ සියළු අසහන බාහිර ලෝකෙන් තමන් වෙත පැටවූවා යැයි ඔහු සිතන්නේ මේ සියල්ල තම මනසින් කෙරෙන බව ඔහු අවබෝධ කර නොගත් නිසයි. තමා තමා විසින්ම අවබෝධ කර නොගන්නේ නම් වෙන කිසි කෙනෙකු විසින් හෝ හැකි පමණින් එය කළ යුතු වේ.

මමය මාගේය යන හැගීම හෙවත් මමත්වය මිත්‍යා දෘසටියක් ලෙස අවධාරනය කරන බුදු දහම ශික්ෂණයේදී හා විමුක්තියේදී තමාට මුල් තැන දියයුතු බව පෙන්වයි. තමා පළමුව ශීලයේ පිහිටා අන් අය ශීලයේ පිහිටුවීම උසස් යැයිද තමා පළමුව සුදුසු ගුණයේ පිහිටා දෙවනුව අන්අයට අනුශාසනා කළයුතු බවයි බුද්ධ දේශණාව.

"අත්තානමේව පඨමං
පතිරූපේ නිවේසයේ
අතඤ්ඤ මනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො"


යන ධම්මපද ගාථාවෙන් පෙන්වා දෙන්නේ උක්ත කාරණයයි. ලොව වෙසෙන පුදගලයා නිතරම තමන්ට ඉන්ද්‍රිය ගෝචරවන බොහෝ දේ තමන් සතු කරගන්නට වෙහෙසෙයි. අන් අයට සාපේක‍ෂව අන්අය දෙස බලන පුද්ගලයා අන්අයට සමානව තමන්ටද වස්තුව මිළ මුදල් ගේදොර තිබිය යුතුයැයි සිතයි. ඉන්පසු ඒවා සාධනය කර නොතිත් ආශාවෙන් කටයුතු කරයි. එවිට තමන්ට නොදෑනීම තමන් සතුව තීබූ විවේකය සතුට යුතුකම් වගකීම් තමන් ලගින් ඉවත් වෙයි. ඒ වෙනුවට අසහනය අතෘප්තිය නොරිස්සුන සමාජය පිළිබද වෛරය සිය ජීවතය වෙළා ගනී. මේ අනුව තමන් සතු ගැටළුවල නිර්මාපකයා අන් කෙනෙකු නොව තමාම බව තහහුරු වෙයි.

ඉගෙන ගන්නා කාලය තුළ දූදරුවන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු රාශියකි. එනම්,

•    ආර්ථීක අපහසුතා නිසා ඇතිවන පාසල් යාමේ අවහිරතා
•    දෙමාපිය සෙනෙහස පිළිබඳ ගැටළු
•    මතක ශක්තිය නැතිවීමේ ගැටළු
•  තමාගේ ප්‍රශ්න ප්‍රකාශ කරන්නට ඒවාට සවන් දෙන්නට කෙනෙකු නොමැතිවීම
•    ප්‍රේම සබඳතා පිළිබඳ ගැටළු

*** දෙමාපිය සෙනෙහස පිළිබඳ ගැටළු ***

මේ ගැටළු තුළින් මුලින් ම අප විමසිය යුතුව ඇත්තේ දෙමාපිය දෙපළගේ සෙනෙහස පිළිබඳ ගැටළුවයි. මෙය අද සාමාජය තුළ බොහෝ සේ දක්නට ඇති තත්ත්වයකි. තම කුසින් මෙලොවට දායාදකල දරුවන්ට දෙමාපිය දෙපළගෙන් ලබාදිය යුතු සෙනෙහස මැනවින් ලැඛෙනවාද? තම දුවට පුතාට දුවේ, පුතේ යන ලෙන්ගතු වදනින් අමතනවාද?

දුවේ/පුතේ මෙහෙ එන්න, ඔය වැඩේ කරන්න එපා.ඔය වැඩෙන් ඔයාට අයහපතක් වෙනවා මේ ආදී කරුණු කාරණා තම දූ දරුවන්ව ළඟට ගෙන අද දෙමාපියන් සෙනෙහසින් කියාදෙනවාද? නැහැ නේද අම්මේ තාත්තේ. එසේ කලා නම් මේ සමාජය තුළ මෙතරම් ගැටළු ඇති නොවනු ඇත. තවද ඔබ ප්‍රමාද වී නැත. ඔබේ දරුවාට සෑමදේම සෙනෙහසින් පැහැදිලි  කරදෙන්න. පුතේ මේක නරක වැඩක්, මේක හොඳ වැඩක් මේ දේ කරන්න, මේ දේ කරන්න එපා යනුවෙන් ආදරයෙන් හා මැනවින් අවබෝධ කරදෙන්න. එවිට ඔබේ දරුවා යහපත් දැනුම් තේරුම් ඇති සත් පුරුෂයෙකු ලෙස සමාජයේ පෙනී සිටිනු ඇත. එසේ නොමැතිව උඹට ඕනෑ දෙයක් උඹ කරපන් යන සිතිවිල්ලෙන් තමන් වැදූ දරුවන් පෝෂණය කිරීම පමණක් කළහොත් නාම මාත්‍රික මවක හෝ පියෙකු පමණක් වීමට ඔබට හැකිය.

මෙම කරුණ වෙනස් කිරීමට නම් යහපත් මවක යහපත් පියෙකු වීමට උත්සාහ කරමු. එවිට මේ ලෝකයේ සෑම කාන්තාවකම සැබෑ මවක මෙන්ම සෑම පියෙකුම සැබෑ පීතෘවරයෙකු වනු ඇත.

එහෙත් ඒ සෙනෙහස නොමැති වූ කළ සෑම දරුවෙකුම සමස්ත සමාජයටම පිළිලයක් වීම ද නොවැළැක්විය හැකි කරුණකි. අද අප රට තුළ බොහෝ මව්වරු පියවරු තමන්ගේ දරුවෝ තනිකර දමා විදෙස්ගතව කටයුතු කරන්නට හුරු පුරුදුව සිටිති. එවිට තමන්ගේ දුව හෝ පුතා රැක බලාගන්නට යොමු කරන්නේ කවුරුන්ද? එය බල්ලාගේ කාර්යය බූරුවාට පැවරීමට සමාන දෙයකි. මව් කෙනෙකුන් හා පියෙකුගෙන් ලැබිය යුතු සෙනෙහස හා ආදරය වෙනත් කෙනෙකුගෙන් ලබන්නට නොහැකි බව දැනගත යුතුව ඇතිවාසේම එය ක්‍රියාවේද යෙදවිය යුතුය .


*** ආර්ථීක අපහසුතා නිසා ඇතිවන පාසල් යාමේ අවහිරතා ***

තම දරුවාට  කුඩා කාලයේදී මව්කිරි දිය යුතු වුවත් සමහර මව්වරුන් විදෙස් ගතවීම නිසා සිය කුසින් උපන් බිළිඳාට පිටිකිරි පොවා පෝෂණය කරන්නට තරම් මේ සමාජය කෲර, නපුරු හා අසංවේදී තත්ත්වයට පත්ව ඇත. ඔබ විසින් මෙයට පෙළඹෙනුයේ තමන්ගේ හා දරුවාගේ අනාගත සුභසිද්ධිය අරමුණු කොටගෙන වුවත් ඉන් අහිතකර ප්‍රතිඵල උදාවනු ඇතැයි ඔබ නොසිතන්නට ඇත. නමුත් අම්මේ, තාත්තේ මෙයින් විශාල විනාශයක් ඔබේ දරුවාට සිද්ධවෙයි. දෙමාපියන් දරුවා සමීපයේ නොමැති කල තමාගේ මව කවුද? ඔවුන් මා ළඟ නැත්තේ ඇයි? ඔවුන් මට ආදරේ නැතිද? මෙවැනි අදහස් දරුවන්ගේ සිතට පහළ වනුයේ කිසිවකුගේ ඉගැන්වීමකින් නොවේ. එසේම එම ගැටළු සඳහා පිළිතුරු ද ඔවුන් විසින්ම සපයා ගනු ඇත. එවිට ඔවුන් තම දෙමාපියන්ට වෛර කරන පුද්ලයෙකු බවට නිරායාසයෙන්ම පත්වනු ඇත. දෙමාපියනි තමාගේ ලෙයින් බිහිවන දරුවා සත්පුරුෂයෙකු හෝ අසත්පුරුෂයෙකු කිරීමේ කාර්ය ඔබ සතුය.

දූ දරුවන්ට දෙමාපියන්ගෙන් ලැඛෙන තරම් ආදරයක් සහනයක් වෙනත් කිසිදු පුද්ගලයෙකුගෙන් ලැබිය නොහැක. එසේනම් ඔබ කලයුත්තේ විවාහ දිවියට පත්වන්නට ප්‍රථම තමාට හා තම පවුලට මෙන්ම දරුවනට හොඳින් ජීවත් වීමට අවශ්‍ය ආර්ථීක තත්වයක් ගොඩනඟා ගැනීමය. එසේ සැලසුම් සහගත නොවන අයුරින් විවාහ දිවියට එළඹීම මගින් තමාගේ දරුන්ගේ අනාගතය මෙන්ම තමාගේ ද ජීවිතය ද අඳුරු දුක්ඛිත නීරස තත්ත්වයට පත්වනු ඇත.

තවත් පවුලක මව විදේශගතව පියාට දරුවන් පවරා ගියද පියා මව විසින් එවන මුදල් වියපැහැදම් කර නාස්තිකාර පුද්ගලයෙකු ලෙස කටයුතු කරනු ඇත. දැන උගත් පිය කෙනෙකුන් වුවහොත් දරුවන්ට උගන්වාගෙන යහපත්  දිවියක් ගත කලහැක. එසේ නොවුනහොත්  තම දරුවන් ද අයාලේ යවමින් පියාද නාස්තිකාර මෙන්ම සල්ලාල දිවියක් ගතකරනු ඇත. මව නිවෙසට පැමිණෙන විට සියල්ල අහිමිව පෙර සිටියාටත් වඩා අන්ත අසරණව පසුතැවීමට සිදුවනු ඇත.


*** ප්‍රේම සබඳතා පිළිබඳ ගැටළු ***

එසේම දරු දැරියන් තම පවුලෙන්, දෙමාපියන්ගෙන් නොලැඛෙන ආදරය සමාජයෙන් බලාපොරොත්තු වීමද අද දැකිය හැකි ඛේදවාචයකි. දරුවා ගැහැනු දරුවකු වුවහොත් එයම ඇයගේ විනාශයට ද හේතුවක් වනු ඇත. දෙමාපියන්ට මෙවැනි දේ දරාගැනීමට නොහැකි වුවද මෙසේ සිදුවන්නේ ආරම්භයේ දී වූ අතපසුවීම් මගහැරීම් වල ප්‍රතිඵල ලෙසය.

වර්තමාන සමාජය තුළ දරු දැරියන් ආදරය කරනවා යනුවෙන් කරන්නේ කුමක්ද? කිසිදු අරමුණකින් තොර පුහුදුන් ක්‍රියාවකි. එනම් මොවුන් සිදුකරන්නේ නොයෙකුත් ඉඳුරන් පිනවීමේ කාමාශාවන් පසුපස හඹා යෑමකි. නැතහොත් කාමාතුරයන්ගේ අසීමිත ආශාවන්ට ගොදුරුවීමකි. එම ආශාවන් විඳගන්නට හැකි තාක්කල් එම ආදර සබඳතාවයන් පවතිනු ඇත. නමුත් වැඩිහිටියන් දැනගත් පසු හෝ වෙනත් ඛේදනීය ඉරණමකින්  මෙම ආදර කතාවන් නිමාවනු ඇත.

දුවේ, පුතේ , ඔබ ඔබගේ සිත තුළින් ම අවංකවම විමසා බලන්න,

ඔබ වැඩියෙන්ම ආදරේ කාටද? ඇයි මම ආදරය කරන්නේ? මේ ආදරයෙන් මට ලැඛෙන්නේ කුමක් ද? මාගේ අධ්‍යාපන කටයුතු වලට මෙය කොතරම් බාධාවක් ද? එසේනම් මෙම බාධාව මාගේ අනාගත දියුණුවට බලපානවා නේද? මා මේ කරන්නේ වරදක් නේද? මේ වරද කරන්නේ මා දැනුවත් ව නේද? සිතන්න. ඇයි මට මේ වරදින් මිෙඳන්න බැරි. මට මේ හැමදේම හැමදාම විඳින්න පුළුවන් මඟක් සකස් කරගත යුතුයි නේද? ජීවිතයේ හැම සැපයක් ම හැමදාම එක විදියට විඳින්නට හැකි ද? මේ කරුණු සෑම දුවෙකුම පුතෙකුම කල්පනා කරන්නේ නම් තමා කරන්නේ නිශ්ඵල කාර්යයක් බව ඔවුන්ටම අවබෝධ වනු ඇත.

මාර්ගයක් නිසි පරිදි සකසා ඇත්නම් ඒ මඟ තුළ තමන්ට අවශ්‍ය වන තාක් දුර කිසිදු බාධකයකින් තොරව ගමන් කළ හැකිය. එහෙත් ඒ මගෙහි ඇති කුඩා වල ගොඩැලි නිසා මඳක් ඔබගේ ගමන අඩපණ වනවා මෙන්ම ගතටද වෙහෙස මහන්සියක් දනවයි. එසේ නම් අප පළමුව කළ යුත්තේ අප ගමන් ගන්නා මඟ නිසි පරිදි සකසා ගැනීමයි. දරුවනි, එසේනම් ඔබ ඔබගේ ගමනේ සාර්ථකත්වය කරායාමට අද සිටම උත්සාහ කරන්න. ඔබේ ගමන් මග සෑදීමේ මිතුරා ලෙස ඔබේ දැනුම  යොදාගන්න. එවිට ඔබට මැනවින් ඔබේ ඉලක්කය කරා යාමට හැකිවනු ඇත. එය කිසිවකුටවත් වලකාලීමට ද නොහැකිවනු ඇත.

ඔබට අවශ්‍ය ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය ඔබ තුළින්ම ලබාගන්න. දරුවන් ලෙස ඔබ ආශා කරන්නේ කුමක් සඳහාද යන කාරණය ගැන සිතන්න. ඒ ආශා කරන සැප සම්පත් වෙනම ලියා තබාගෙන වෙන වෙනම එම සිතුම් පැතුම් ඉටුකරගන්නා ක්‍රමවේදයක් තමන් විසින්ම සකසා ගන්න.

•    ලස්සනට ශරීරය තබාගන්න.
•    වෙනත් අයගෙන් බැනුම් නොඅසන්න.
•    ප්‍රශංසාවට ලක්වන්න.
•    අන්‍යයන්ට වඩා දැනුමින් උසස් ලෙස සමාජයේ හැසිරෙන්න.
•    පිරිසක් මැද නායකයෙකු වන්න.
•    තමන්ගේ අවශ්‍යතා ලබාගන්න.
•    දෙමාපිය ආදරය ලබන්න.
•    සමාජය තුළ අවංක පුද්ගලයෙකු වන්න.

මේ ආදී සෑම බලාපොරොත්තුවක් ම ඉටුකරගැන්මට තමා විසින් උත්සාහ කළ යුතුය. තමාගේ වැඩකටයුතු මැනවින් ඉටුකිරීම තුළින් මේ සියලූ බලාපොරොත්තු නිරායාසයෙන් ම ඉටුවනු ඇත.

සිදුහත් කුමාරයා පිය රජතුමා වෙත ගොස් විමසුවේ කුමක් ද?

පිය රජතුමනි, ඔබ මට රජ මාලිගයේ සිටින්නට බලකරනවා නම් මට ලබා දිය යුතු සැප සම්පත් ඇත. ඒ සැප සම්පත් ලබාදීමට ඔබ වහනසේට හැකිනම් මම සැමදාම මේ මාලිගයේ රැෙඳන්නම්. එසේ නොහැකි නම් මම මේ මාලිගය හැරදමා සැනසුම සොයාගෙන යනවා. එවිට සුද්ධෝදන රජතුමා ඔබට අවශ්‍ය කුමන සැපයක් දැයි විචාල කල්හි වයස්ගත නොවී මේ තරුණ රූ සපුව මේ අයුරින්ම තබාගෙන නොමැරී සිටින්නට මට අවස්ථාව සලසා දෙන්න. එසේ කළ හැකිනම් මම මේ රජ මැදුර තුළ හැමදාම රැෙඳමි. මෙය අසා සිටි සුද්ධෝදන රජතුමා ප්‍රකාශකර සිටියේ පුතනුවනි, මට ඔබ ඉල්ලන සැප සම්පත් දෙන්නට හැකියාවක් නොමැත. ඔබට ඒ නිසා රජසැප හැර යන්නට අවසර දෙමි" යනුවෙනි.

එය ඇසූ සිදුහත් කුමරු රජ සැප හැරදා ගියේ තමාගේ විමුක්තිය සොයාගෙන අනුන් ද එම විමුක්ති මාර්ගයට එක්කරගැනීමේ පරමාර්ථයෙනි. උන්වහන්සේ සියලූම සැප සම්පත් හැරදමා ගොස් ලෝකයේ පරම සත්‍යය අවබෝධ කරගෙන අන් අයටත් එම සත්‍යය අවබෝධ කොට දී සැනසුම උදා කලේ නම් අපට මේ ජීවිතයේ සැනසීම සතුට ලබාගැනීමේ පරමාර්ථයෙන් අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් ඉටු කරගැනීමට හැකියාවක් තිබිය යුතුය. අප පසුබට වී ඇති නිසාවෙන් එය කරගන්නට නොහැකි වී ඇත.

මේ ලෝකයේ දිවි ගෙවන සෑම පුද්ගලයෙකුම කටයුතු කරන්නේ තමන්ගේ විමුක්තිය උදාකර ගැනීමේ පරමා භිලාෂයෙනි. එහෙත් ඔවුන් තමන්ගේ විමුක්තිය උදාකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නවාද? මෙම විමුක්තිය උදාකර ගැනීමට ඔවුන් කුමක් කරන්නේ ද? අප අපගේ විමුක්තිය උදාකර ගැනීමෙහිලා ආත්මාර්ථකාමී විය යුතුය. නමුත් එය අන් අයට හිරිහැරයක් නොවිය යුතු අතර අන්‍යෝන්‍ය සහයෝගයද තිබිය යුතුය. මේ ආදී සෑම කරුණකින්ම ගෙන හැර දක්වන ලද්දේ දෙමාපිය සෙනෙහස දරුවන් කෙරෙහි කෙසේ බලපාන්නේ ද යන කරුණය. එම කාරණය මෙන්ම තවත් බලපාන ගැටළු රාශියකි. ඒ අතරින් ප්‍රේමය යන කරුණ පිළිබඳව අප විශේෂයෙන් විමසා බැලිය යුතුය.

කොසොල් රජුගේ අග්‍ර මහේසිකාව වූ මල්ලිකා දේවිය සමග පිළිසඳරක යෙදෙන කොසොල් රජු ඇයගෙන් විමසන්නේ

අත්ථී නු ඛො තෙ මල්ලිකෙ
කො චඤෙඤ අත්තනා පිය තරොති

                        (කෝ:සං)

මල්ලිකා වෙනි ඔබට මේ ලෝකයේ ඔබ හැර පි්‍රයවන තවත් කෙනෙක් ඇත් ද?


නත්ථී ඛො මේ මහාරාජ
ඛො චඤෙඤ අත්තනා පිය තරොති

                        (කෝ:සං)
මහරජතුමනි මට මේ ලෝකයේ මාතරම් ප්‍රිය වූ වෙන කිසිවෙකුත් නැත
           
මෙය අසා කොසොල් රජතුමා මල්ලිකා දේවියගේ දැනුම පිළිබඳව මහත් සේ සතුටු විය. නමුත් කොසොල් රජතුමා බලාපොරෙත්තු වූ පිළිතුර එය නොවේ. එය කුමක්ද යන වග ඔබම වටහා ගත යුතුය. මේ අදී කරුණු අවසානයේ දී කොසොල් රජු බුදුන් වහන්සේ වෙත එළඹ එම කරුණු බුදුන් වහන්සේට හෙළි කිරීමෙන් අනතුරුව බුදුන් වහන්සේ මෙම ගාථාව දේශනා කොට ,මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයත් මිනිසුන්ගේ ආශාවන් පිළිබඳවත් පැහැදිලි කළ සේක.

සබ්බා දිසා අනුපරිගම්ම චේතසා
නේවජ්ජගා පිය මත්ථනා ක‍වචි
ඒවං පියො පුථු අත්තා පරේසං
තස්මා න හිංසෙ පරං අත්ත කාමොති

                        (කෝ:සං)

සියලූ දිශාවන්හි මැනවින් විමසා සොයා බැලූවත් තමන්ට වඩා ප්‍රියවන කෙනෙකු සොයාගත නොහැක.එසේ හෙයින් තමන් කවරෙකුට හෝ ප්‍රිය කරන්නේ නම් ඔහු තමන්ට හිංසා පීඩා මෛන්ම අවැඩදායක දේ කරගැනීමෙන් වැළකෙයි.

මෙය බුදුන් වහන්සේගේ දේශනාවක් බැවින් එය විමසා බලන කල්හි නිවැරදි යැයි සිතිය හැක.

මල් කැකුළුවන් හය හතර නොතේරෙන වියෙහි දිවිගෙවන අපේ දූ දරුවෝ හිරු රැස් වැටී එම මල් කැකුළු විකසිත වන්නට පෙර මහා කුණාටුවකින් විනාශ වී යන්නාක් මෙන් වත්මන් සමාජය විසින් ආදරය නැමති මෝහාන්ධකාරයෙන් දෑස් අන්ධ කොට අඳුරු මාවතක අතරමං කොට දමා ඇත. ඔවුනට නිසි මඟ පෙන්වන්නේ කවුරුන්ද ඒ නිසි මග පෙන්වන්නේ කෙලෙසකද? යන්න අප විසින් විමසා බැලිය යුතුව පවතී.

ආදරණීය දුවේ , පුතේ ,  ඔබ තවමත් පුංචි නෙළුම් මල් පොහොට්ටුවක් පමණි. එම නෙළුම් පොහොට්ටුවට හිරු රැස් වැටී සුපිපුන කල ලොව සෑම සත්වයෙකුගේම සිත තුටු කරන්නේ යම් සේද?  එපරිද්දෙන් ම ඔබ කුඩා කලදී නිවැරදි ලෙස දිවි ගෙවුවහොත් අනාගතයේ සමස්ත ලෝකයටම ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස අනුශාසනා  හා අවවාද කරන්නට හැක. එයට ඔබේ ස්ත්‍රී/පුරුෂ භේදය බාධාවක් නොවනු ඇත. අවශ්‍ය වන්නේ ඔබ සතු කරගන්නා දැණුම පමණි. එය ඔබ ඔබේ උත්සාහයෙන් ම ලබාගත යුතුය. ඒ සඳහා ඔබ කල යුත්තේ එකම කාර්යයකි. ඔබේ අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියන් ඉගෙනීමට අවශ්‍ය කරන සියළුම අවශ්‍යතා සපයා දෙනු ඇත. එසේම ඉගෙනීම් ක්‍රියාවලිය කරන්නේ කෙලෙසදැයි යන කාරණය මෙන්ම යායුතු මඟ හා අත්හල යුතු මඟ ද ගුරු මාපියවරුන් විසින්  ඔබට නිසි ලෙස පහදා දෙනු ඇත. එසේනම් ඔබට පැවරී ඇති කාර්ය කුමක්ද? මැනවින් ඉගෙනීමේ ක්‍රියාවලියේ යෙදීම ම පමණකි. එසේනම් ඔබ එම කාර්යයයේ නිරත නොවන්නේ කුමක් නිසාද? එම කාර්යයේ නොයෙදෙන්නට ඔබට බලපා ඇති ගැටළු කුමක්ද?


*** තමාගේ ප්‍රශ්න ප්‍රකාශ කරන්නට ඒවාට සවන් දෙන්නට කෙනෙකු නොමැතිවීම ***

පැළයක් සිටවූ පසු දින සති මාස අවුරුදු ගෙවී පළදරන්නට බොහෝ කාලයක් ගත වන්නේ යම්සේද? එයට හේතුව නම් එම ගසෙන් සාර්ථක ඵලයක් හට ගැන්මට පරිණතවීම අත්‍යවශ්‍ය බැවිනි. එසේ නොවන්නට පැලයක් සිටවු පසුව ඉන්පසු දිනම එයින් ඵල දරනු ඇත.

දරුවනි ඔබද එලෙසමය. ඔබ එම කාරණය කුමක් නිසා නොසිතන්නේද? එසේ නොවේනම් උපන් දිනයේ පටන් ඔබ සෑම කෙනෙකුම දණගාමින් හා බඩගාමින් මාපිය තුරුළට වී සුරතල් වන්නේ කුමක් නිසාද? දෙමාපියන් දුක්විඳ මහන්සි වී සියලූ අවශ්‍යතා සපුරාලන්නේ කුමක් නිසාද? එසේ නොවන්නට කුඩා කල සිටම ඔබව අවාහ විවාහ කර දී නිදහස් වන්නට තිබුණි. එසේ නොකරන්නේ එක් හේතුවක් මතය .

සමාජගත සෑම පුද්ගලයෙකුටම ඕනෑම කාර්යයක් කරන්නට පළමුව පුහුණුවක් ලැබිය යුතුය. සාමාජ පරිසරය පිළිබඳව මෙන්ම එම පරිසරය තුළ ජීවත්වීම පිළිබඳව මනා දැනුමක් ලබාගත යුතුය. එම කාර්යය තම දරුවන්ට ඉටුකරදීම දෙමාපියන් සතු වගකීමක් බැවින් පළමුව පවුල තුළින් අම්මේ තාත්තේ, අක්කේ අයියේ, නංගියේ මල්ලියේ යන වදන් තෙපලන්නට හුරුකරන්නා සේ සමාජය තුළ දිවි ගෙවිය යුතු අන්දම පිළිබඳව ද මැනවින් පහදා දිය යුතුය. එය දෙමාපියන් සතු වගකීමක් බැවින් තම දරුවන්ගේ පෙම් සබඳතා දෙමාපියන්ට දැනුනු පසු නොයෙක් ලෙස තම දූ දරුවන්ට වදහිංසා පැමිණවීම්ද, ඔවුන්ව අපහසුතාවයට පත්කිරීම්ද ,මානසික වද වේදනාවන්ට ලක්කිරීම් ද සිදු කරයි. එය සිදු වන්නේ දෙමාපියන්ගේ නූගත්කම මත නිසාවෙන් විය යුතුය. එහෙත් ආදරණීය අම්මේ තාත්තේ ඔබ විසින් කළ යුත්තේ  අන් දෙයකි.

මා මෙසේ විවෙචනයට හා අපහාසයන්ට ලක් කරනුයේ මාගේ ආදරණීය දියණිය හෝ පුතා නොවන්නේද? අපි මෙසේ කිරිමෙන් ඒ අයගේ අනාගතයම අඳුරු වනවා නොවන්නේද? ඔවුන්ගේ පන්ති තහනම් කිරීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පසුබටවනවා නේද? ඔවුන් මානසිකව බිඳවැටීමකට ලක්වනවා නේද? ˜

එසේම ගුරුවරු විසින් එම දරුවන්ව තම පන්තිය තුළ කොන් කිරීමට ලක් කරයි. ඔබ එසේ කරන්නට පළමුව යමක් සිතා බැලිය යුතුය.

මේ ආදී නොයෙක් කරුණු කාරණා නොයෙක් අයුරින් කල්පනා කොට මැනවින් විමසා බලා ඒ අනුව ඔබ ඔබේ දුවට හෝ පුතාට මෙවැනි අවවාද අනුශාසනා කළ  යුතුය. එවිට ඔබේ දරුවා නිසි පරිදි යහපත් ගුණ දහමින් පිරිපුන් සමස්ත සමාජයම බබලවන පුරවැසියෙකු වනු නොඅනුමානය. මෙය ප්‍රායෝගිකව සිදුකළ යුතු කාර්යයකි. තමන්ගේ දුව හෝ පුතා වෙත ගොස් ,

මගේ පුතේ ඔයාට මොනවද තියෙන අඩුපාඩු , ආහාරපාන පොත් පත් ඇඳුම් පැළඳුම් , ආදරය කරුණාව මෛත්‍රිය අපෙන් ලැඛෙනවා මදිද?

 යනුවෙන් විමසන්න. එවිට ඔබේ දරුවාගෙන් ලැඛෙන පිළිතුර කුමක්දැයි දැන එම පිළිතුරට අනුව ඔබගේ දරුවා සම්බන්ධයෙන් ගත යුතු නිවැරදිම පියවර නිවැරදි ආකාරයෙන් ගන්න. එහෙත් ඔබේ දරුවා වරදක් කලායැයි සළකා ඔහු වැරදිකරුවෙක්ය යන ආකල්පය ඔහුගේ සිත තුළ මුල් බැස ගන්නට නොදී කටයුතු කිරීමට සැළකිලිමත් වන්න. එයට හේ්තුව නම් කුඩාකල අතුරිකිලි ලියලන පැළයක දල්ල සිඳ දැමීමෙන් එම පැළයේ වැඩීම බාලවීමයි. ඔබේ දරුවාටද මෙම න්‍යාය ඒ අයුරින්ම බලපානු ඇත. එය වෙනස් කරන්නට ඔබ නිසි පියවර නිසි අයුරින් ගතයුතුය. එය මෙලෙස පහදා ගත යුතුව ඇත. තවද ඔබේ දරුවන්ට මෙසේ පවසන්න,

පුතේ ඔයා ඔය වැඩය කරන්න එපා. ඒ වැඩේ කරන්න ගත්තොත් ඔයාට ඉගෙනගන්න බැරිවෙනවා. එතකොට ඔය ආදරය කරන අය ඔයා ළඟ ඉන්නේ නෑ. තමන් හොඳ ලස්සන කෙනෙක් නම් හෝ සමාජයේ උසස් තැනක ඉන්න කෙනෙක් නම් ඔයා වෙනුවෙන් සියදහස් ගණනක් අය ඇදී එනවා. ඒ නිසා පුතේ ඔයා හොඳට ඉගෙන ගෙන සමාජයේ උසස් කෙනෙක් විදිහට හොඳ තැනකට එන්න. එහෙම නැතුව අතරමගදී ඉගෙනීම නොකර ඔය වැඩේ කරන්නට ගියොත් ආශාවන්ට ඇබ්බැහි වෙලා ඔයාට ඉගෙන ගන්නට ලැඛෙන්නේ නෑ. එතකොට කවදා හරි ඔයාලා විවාහ උනාට පස්සේ දෙන්නටම අනුන්ගේ බැල මෙහෙවරකම් කරමින් ජීවත්වෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඔයාලාට කතාකරන්නේ නෝනා කියලවත් මහත්තයා කියලවත් නෙවේ. මගේ පුතේ/දුවේ එතකොට ඔයාලට කතා කරන්නේ කුලිකාරයා, වැඩකාරයා, ආදී නම් වලිනි. ඉතිං අපිට මේ ලස්සනට ජීවත්වෙන්න පුළුවන්කම තිඛෙද්දී නොයෙක් අපි්‍රයකර නම් වලින් ඇමතුම් ලබන්නේ ඇයි. හොඳ සැප පුටුවක ඉඳගෙන තවත් පිරිසක් පාලනය කරමින් හොඳ මහත්තයෙක් විදිහට නැත්නම් හොඳ නෝනා කෙනෙක් විදිහට ජීවත් වෙන්න බැරිද? එතකොට කොයිතරම් සතුටක් හා පිළිගැනීමක් තියෙනවාද? ඔයා ඔයාගේ අනාගතය හසුරුවන්නා විදිහට හැසිරෙන්න. එතකොට ඔයාගේ පස්සෙන් එන සුරූපී තරුණියන්ගේ ප්‍රමාණයත් කඩවසම් තරුණයන්ගේ ප්‍රමාණයත් නිමකරන්නට බැහැ. එතකොට ඔයාට සන්තෝස වෙන්න පුළුවන්. ඒ වුනත් කොයිතරම් සැප සම්පත් ලැබුනත් ඒ සැප සම්පත් නොහොඹිනා අකාරයෙන් හා සාමාජයේ නීතිරීති වලට විරුද්ධ නොවන විදිහට ඔයා කටයුතු කළ යුතුයි. ඒ කොහොමද කියනවානම් ඔයාට හිතන්න පුළුවන්.

(මම හොඳ වෛද්‍යවරයෙක්, නීතීඥයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක්, කථීකාචාර්ය කෙනෙක් හා හොඳ දේශකයෙක්, ව්‍යාපාරිකයෙක්, සාර්ථක ගොවි මහතෙක්  වුන නිසාය. මේ වගේ තත්වයක් මට ලැබුනේ මම හොඳින් කාල සටහනකට අනුව කටයුතු කල නිසාය. එහෙනම් මම මගේ දරුවන්ටත් මේ වගේම තත්ත්වයක් දෙන්න ඕන. මම යහපත් විදිහට සමාජයේ ජීවත් වෙන්න ඕන) ˜

මෙවැනි කථාබස් තුළින් ඔබගේ දරුවා නිවැරදි මාවත වෙත යොමු කරන්නට උත්සාහ ගත හැක. මෙසේ ඔබගේ දරුවාට ප්‍රකාශ කළ හැක්කේ  ඔබද ඔබේ කාර්ය නිසි පරිදි ඉටුකර ඇත්නම් පමණි. එසේ නොවුනු විට ඔබට කවරාකාර ජීවිතයක් ගත කරන්නට වන්නේද යන වග ඔබට දැන්ම වැටහී හමාරය. එසේනම් දුවේ පුතේ නිසි වියට කළයුතු නිසි කාර්ය නිසි පරිදි ඉටුකරන්නට ඔබ සැලකිලිමත් විය යුතුය. ඔබ ඔබේ වයසට සුදුසු කාර්යයන්හි පමණක් නියැලී යහපත් දුවෙකු හෝ පුතෙකු ලෙස යහපත් දිවියක් ගත කරන්නට හුරු පුරුදු විය යුත්තේ ආදරය නැමති දොරගුළු ඉගෙනීම නැමති රුවන් දොරටුවේ අගුලක් වන නිසාවෙනි. එසේ වුවහොත් ඉගෙනීම සිදුකර ගැනීමට නොහැකිව නිකමෙක්ව දිවිගෙවන්නට සිදුවනවාසේම විවාහ වීමෙන් පසු තම නිවසේ අගහිඟගකම් ඇතිවූ පසු අඬදබර ඇති වීමටද ඉඩ සැලසෙනු ඇත.

ආදරය වගේ නොවේ අගහිඟ දැනෙයි කූඩුවේ
දුක දරාගන්න වේවි නුඹට මහ මෙරක් වගේ

මෙවැනි ගී පද අසනවා මෙන්ම අපගේ දිවියටද එහි අරුත් ආදේශ කොටගත යුතුය. එසේ නොවූ කල කවරාකාර ගැටළුවලට මුහුණ දීමට සිදුවනු ඇත් ද යන වග වත්මන් සමාජය දෙස බලා මැනවින් වටහා ගත හැක. නමුත් එය දැක දැකත් ඔබ කුමක් කරන්නේ ද? එසේම ඔබ කුමක් සිදු කල යුතු ද? යන වග නැවතත් විමසිය යුතව ඇත.

විරුද්ධ ලිංගික ආදරය යනු කුමක් දැයි නොදන්නා වියේ දී විරුද්ධ ලිංගික ආදරය කරන්නේ කුමන සැපයක් ලබා ගැනීමට ද? පුතේ ඔබ ඔබගෙන්ම විමසා බලන්න ආදරය යනු කුමක්ද යන වග. එවිට ඔබ ඔබටම දොස් පවරනු ඇත. එසේත් නැතිනම් අසල සිටින අයගේ මුහුණ දෙස බලා මඳ සිනාවක් නඟනු ඇත .ඒ සිනාව පාන්නේ අනුනටද නැතිනම් ඔබ ඔබටමද? නැත ඔබේ අනුවණ කමටය. මෙය ඔබ ඔබගෙන් ම විමසා බලන්න.

ඉගෙනගන්නා කාලය තුළදී ඔබගේ ප්‍රශ්ණවලට සවන් දෙන්නට හා ප්‍රකාශ කරන්නට කෙනෙකු නොමැතිවීම ද ඔබට ඇතිවන තවත් ගැටළුවකි. ඔබ ජීවත්වන කාලය තුළදී ඔබගේ සිත තුළ ඇතිවන දුක සතුට ප්‍රකාශ කරන්නට හා තම සිතැඟි තේරුම් ගන්නට සමත් යහළුවෙකු ඇසුරු කළ යුතුය. එය ඔබේ දිවි මගට මහත් උපකාරයකි. එයට හේතුව නම් සෑම පුද්ගලයෙකුට ම ප්‍රශ්නයක් නැගුනු විට දරාගැනීමේ ශක්තිය අඩුවන නිසාය. එවිට එම ගැටළුව තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම තුළින් හා එයට සවන්දෙන්නා එම ගැටළුව විසඳාගැනීමට අවශ්‍ය පිළියම් පැහැදිලි කර දෙනු ඇත. මහගමසේකරයන් විසින් රචිත ප්‍රබුද්ධ නැමති ග්‍රන්ථයේ මෙබඳු අදහසක් සඳහන් ව ඇත. ඒ කෙසේද යත්,

තමන් හිනැහෙනවිට
මුළු ලොවම තමන් හා හිනැහේවි
එහෙත් තමන් වැලපෙන විට
මුළු ලොවම තමන් අතහැර හිනැහේවි
(ප්‍රබුද්ධ: මහගමසේකර)
   
මේ කාරණය සැබෑ සත්‍යයකි. මේ ලෝකයේ දිවිගෙවන සෑම පුද්ගලයෙකුම හුරුපුරුදුව සිටින්නේ තමන් අසල සිටින අය හිනැහෙන විට හිනැහෙන්නට පමණි. නමුත් තමන් අසල සිටින්නන් වැලපුනහොත් කිසිදු දිනෙක ඔහු සමග වැලපෙන්නට හෝ ඔහුගේ වැලපීම ගැන කතා කරන්නට උත්සාහ නොගනී. එහෙත් අප එයටද හුරු පුරුදු විය යුතුය. ඒ නිසා අප අපගේ සිත් තුළ හටගන්නා සතුට මෙන්ම දුකද හෙලි කරන්නට උචිත මිතුරෙකු ඇසුරු කළ යුතුය. එවිට තමන්ගේ සිත සෑම ගැටළුවකින්ම මුදවා ගැනීමට හැකිවනු ඇත. තමන්ගේ මව හෝ පියා තමන්ගේ වරදක් දුටු තැන නොයෙක් ලෙස බනින්නට පුළුවන. එහෙත් ඒ වරද සකසාගෙන නිවැරදි ලෙස දිවි ගෙවන්නට උත්සාහ දරනු විනා තව තවත් එවැනි වැරදි කරන්නට නොයා යුතුය. මුහුණ පුප්පාගෙන සිටීම හා දෙමාපියන් හා  එකටෙක කියාගෙන  නොයායුතුය. තමන්ගේ දරුවන්ගේ වැරදි පියා හෝ මව පෙන්වා නොදෙන්නේ නම් කවරෙකු පෙන්වා දෙන්න ද? තමන්ගේ මව හෝ පියා වරදක් පෙන්වා දුන්විට නොකා නොබී සියදිවි නසාගන්නට නොයා වැරදි වලින් මිදී නිවැරදි ලෙස දිවි ගෙවන්න. එසේම තමන්ගේ සිත තුළ ඇතිවන දුක තමන්ගේ හොඳම යහළුවාට ප්‍රකාශ කලාට කම්නැත. එහෙත් වැරදි තීරණ ගන්නට ගොස් තමන් හා අනුන්ව අපහසුවට පත් නොකළ යුතුය.


*** මතක ශක්තිය නොමැති වීම ***

මීට අමතරව අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඇති තවත් ප්‍රශ්නයක් ලෙස මතක ශක්තිය හීනවීම දැකිය හැක. එයට හේතුව නම් තම මනසේ මතක ශක්තිය ගබඩා කරන ස්ථානය පිරී පැවතීමයි. අප කළ යුත්තේ පිරී ඇති අනවශ්‍ය මතකයන් මනස තුළින් ඉවත්කර දැමීමයි. නැතහොත් අමතක කිරීමයි. එවිට තමාට අවශ්‍ය පාඩම් කටයුතු මනා මතකයකින් යුතුව කිරීමේ හැකියාව නිරායාසයෙන්ම පහළවනු ඇත. එසේම පාඩම් මතකයේ තබාගන්නා විට යම් අනුපිළිවෙලකට අනුව මතක තබාගැනීම කළ යුතු අතර එවිට අවශ්‍ය වන විට තමන්ට ඒ සියල්ල එකිනෙක විමසා බැලීමේ හැකියාවක් ඇතිවනු ඇත.

එහෙත් අප කිසිදු කාර්යයක් සැලැස්මකට අනුව කරන්නට පුරුදු පුුහණු නොවීම මත විවිධ ගැටළු වලට මුහුණ පාන්නට සිදුවනු ඇත. එනම් තමන් විසින් හදාරණ කරුණු යම් ක්‍රමවත් බවකින් තොරව සිදු කිරීමත් ධාරණය කරගැනීමේදී පැහැදිලි  මනසකින් යුක්තව පාඩම් මාලාව යම් අනුපිළිවෙලකින් යුතුව කරගෙන නොයාමත් නිසා විභාගයක් හෝ විෂය සම්බන්ධ ප්‍රායෝගික කටයුත්තක දී එම කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිවනු ඇත.

එමෙන් ම තමන් මැනවින් අධ්‍යාපන කටයුතු නිමකල බවට උපාධි හෝ යම් පාඨමාලාවක හෝ වෙනත් සහතිකයකින් තහවුරු කරනු ලැබුවද එය බොහෝ විට කඩදාසියකට සීමාවූ දැනුමක් බවට පත් නොවිය යුතුය. උගත් විෂය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේ හැකියාවක් ඔබ තුළ නිසැකවම ගොඩනඟා ගත යුතුව ඇත. එසේ නොවන විට සිදු වන්නේ දැනුම ක්‍රියාවේ යෙදවීමේදී නැවතත් ඔබ උගත් පොතපත ඔසවාගෙන යාමට සිදුවීමයි. මෙහිදී ලැජ්ජාවට හෝ අපහසුතාවයට පත්වන්නේද ඔබමය. දරුවනි, ඔබ අනවශ්‍ය සිතිවිලි සිත තුළ ගොඩගසා නොගන්න. අවශ්‍ය දැනුම පමණක් ධාරණය කරගන්න. මෙයින් සිතට සැහැල්ලූවක්ද දැනේ. බුදුරජාණන් වහන්සේ එය මෙසේ දේශිතය,

න පරේසං විලෝමානි
න පරේසං කතා කථං
අත්තනො ව  අවෙකෙඛය
කතානි අකතානිච


අනුන් කළ නොකළදේ ගැන නොසිතා තමන් විසින් කරන ලද හා නොකරන ලද කාර්යයන් ගැන පමණක් විමසා බලා තමන්ගේ වැරදි සකසා ගන්න ˜

එතෙකුදු වුවත් වත්මන් සමාජ ගත පුද්ගලයා අනුන්ගේ වැරදි අඩුපාඩු සියල්ල තම සිත තුළ රඳවාගෙන නොයෙක් ලෙස දුක්විඳියි. මෙය තම මානසික සැපයට හා සැහැල්ලූවට බාධාවකි. එසේම මා මුලින් කී පරිදි අනවශ්‍ය සිතිවිලි තම මතකයටද බාධාවකි. උදාහරණයක් ලෙස තමා ඇසුරු කරන ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා පිළිබඳ නිතර නිතර සිහිකරමින් සිටින විට තම මතක ශක්තියේ හීන වීමක් ද නිරායාසයෙන්ම සිද්ධ වනු ඇත. මෙය ඔබ විසින් ඔබටම කරගන්නා මහත් අපරාධයකි. ඔබ ඔබටම අපරාධයක් කරගන්නේ ඇයි? ඔබ ඉගෙනුම ලබන කාලය තුළ අනවශ්‍ය කටයුතු වල නිරතවීමෙන් අහිතකර ප්‍රතිඵල අත්වන්නේද ඔබටමය. ඔබගේ දෙමාපියන්ද නිරත ප්‍රකාශ කරන පරිදි අනියත මෙන්ම නිශ්ඵල පෙම් සබඳතා ඇරඹීමෙන් වැලකෙන්න.

මිනිස් චෛතසිකය යනු සෑහීමට පත්නොවන දෙයකි. මනුෂ්‍ය සිත තුළ හටගන්නා ආශාවන් පාලනය කරගැනීමට ඉතා අපහසුය. යමක් අවශ්‍යයැයි සිතුනු පසු හොඳින් හෝ නරකින් එය ලබාගැනීමටද එය ලැබුණු පසු වින්දනයටද නිතර උත්සාහ කරයි. එයින් නොනැවතී නැවත නැවත එය පසුපසම දිවයයි. යම් ලෙසකින් එය නොලැබුනු තැන දී මානසික පසුබෑමක් හෝ ගැටුමක් ඇතිවීම ස්වාභාවිකය. මෙහිදී පෙම් සබඳතා හොඳම නිදසුනකි. එක් පාර්ශවයක් උත්සාහ ගත්තද අපේක‍ෂිත ආදරය නොලැබුණු තැන දී ගැටුම් ඇතිවීම වත්මන් සමාජයේ නිතර අසන්නට ලැඛෙන පුවතකි. එසේම සියදිවි නසාගැනීමට පෙළඹීම්ද අප දැක ඇති වාර අනන්තය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස ඔබ තවමත් සමාජය නිසි අයුරින් දැක නැත. එසේම ප්‍රශ්ණවලට මුහුණ දීමේදී මුහුකුරා නොගිය පිරිසක් ලෙස ඒවා දරාගැනීමටද අපහසු තැන බොහෝ දෙනෙක් දිවිනසාගැනීම පිළිතුරක් ලෙස දකිති. එමෙන්ම උපදේශනයක් හෝ එම කරුණු පහදා දීමට වැඩිහිටියෙකු නොමැති විටෙක මෙවැනි ඛේදවාචයකයන්ට නිරායාසයෙන්ම මගපෑදේ. එසේනම් යහපත් මෙන්ම සාර්ථක දිවියක් දරුවෙකු ලෙස ගත කරන ඔබ, අනාගතයේ දී සැපවත් දිවියකට උරුමකම් කියන්නෙක් විය හැක. එසේනම් අනවශ්‍ය බාධකයන් සැපතක් ලෙස සිතා ඒවාට තම ගමන් මගට හරස් කපන්නට ඉඩදී ඔබත් බලා සිටින්නේද? මෙය ඔබගේ සිතින් ම විමසා බැලිය යුතු කාරණයකි. පෙර පින් හේතුවෙන් ලද මිනිස් ජීවිතය සාර්ථක කරගන්නවා විනා විනාශ කරගන්නට අප උත්සාහ නොදැරිය යුතුය.

දුවේ පුතේ ඔබේ මතක ශක්තිය හීන වීමට සමහර විට ඔබේ පියාගේ මත්පැන් භාවිතයද හේතුවනවා වියහැකියි. එමෙන්ම ඔබද එම කාර්යයට ඇබ්බැහි වේනම් ඔබගේ මතක ශක්තිය බොහෝදුරට හීනවී යා හැක. නිවැරදිව සිතන්න. ජන්මයෙන් ඔබට ලැබී ඇති මතක ශක්තිය හා මනා සිහිය විකෘති කරගන්නේ ඇයි? පිස්සකු ලෙස ජීවත්වන්නේ කුමක් නිසා ද?

මීට අමතරව දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා බාධා එල්ල කරන තවත් කරුණක් වනුයේ  මාපියන්ගේ නොසැළකිල්ල හා ආර්ථීක අපහසුතාවයන්ය. ඔබගේ මාපියන් දැන උගත් බුද්ධිමතුන් විය හැක. නමුත් ඔබේ පවුල නිතර ආර්ථීක ප්‍රශ්ණවලින් මිරිකෙන්නේ නම් දරුවාට අවශ්‍ය පොත්පත් හා අනෙකුත් අධ්‍යාපනික අවශ්‍යතා නිසිලෙස ඉටුකරන්නට නොහැකිවේ නම් එයද දරුවන් අපහසුතාවයට පත්වන මූලික කාරණයකි.

දරුවනි, ඔබටත් වගකීමක් ඇත. තම දෙමාපියන්ගේ ආර්ථීක ගැටළු පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන්න. ඔවුන්ගෙන් ලැඛෙන සීමිත සම්පත් ඔබගේ අධ්‍යාපනයට හැකි පරිදි නිසිලෙස භාවිත කරන්න. අනවශ්‍ය අලංකරණයන් හා අත්‍යවශ්‍ය නොවන සුළු සුළු අවශ්‍යතාවන් මඟ හරින්න. ඔබට ද හැකි අයුරින් මාපිය ආර්ථීකයට යම් දායකත්වයක් ලබා දෙන්න. ඔබ ජීවත්වන පැල්පත පැල්පතක් විය හැක. නමුත් එය රජදහනක් කරගත හැක්කේ ද ඔබටමය.

තවත් දරු පිරිසක් සිටියි. ඔවුන්ගේ දෙමාපියන් වත්කම් ඇති පිරිසක් වන්නට පිලිවන. එම දෙමාපියන් තම දරුවා වෙනුවෙන් සියලූ සැප සම්පත් ලබා දී අධ්‍යාපනයට යොමු කරනට කොතෙක් උත්සාහ කළද දරුවා අධ්‍යාපනයට කිසිදු උත්සාහයක් නොදක්වයි. දුවේ පුතේ ඔබත් මේ කොටසට අයත්ද? ඔබ සිතන්නේ ඔබගේ දෙමාපියන් වෙහස මහන්සියෙන් හම්බ කළ ධනයෙන් අනාගතයේදී ඔබටද සැපසේ ජීවත්විය හැකිය කියාය. ඔබ මෙවැනි තීරණ මත ක්‍රියාකරන්නේ කුමක් නිසාද? මෙවැනි තීරණ තුළින් ඔබගේ අනාගතය අඳුරුවිය හැකි බව ඔබ නොසිතන්නේද? දුවේල පුතේ ඔබගේ අනාගතය ගොඩනඟාගත යුත්තේ ඔබ විසින්මය. එය ස්වාධීනව නැඟී සිටින්නට උත්සාහ ගැනීම යන ආත්ම තෘප්තියක් හා ස්වයං අභිමානයක් පසු කලෙක දී හෝ ඔබ තුළ ඇතිකිරීමේ මාර්ගයකි. මම දියුණුවුනේ මගේ උත්සාහයෙන්  යනුවෙන් ඔබට පසු කලෙක හිස ඔසවාගෙන ප්‍රකාශ කරන්නට හැකිනම් කොයිතරම් දෙයක් ද? සිතන්න. ස්වාධිනව තම ඉලක්කය සපුරාගන්න. තමාට ලැඛෙන සම්පත් , අනුග්‍රහයන්ගෙන් උපරිම ඵල නෙලාගන්න.

මට ලස්සනට අකුරු ලියන්න පුළුවන්, ගීත කියන්න පුළුවන්, පොතපත කියවා තේරුම්ගන්න පුළුවන්, එහෙත් මට ඒ සියල්ල හැකිවුවත් මොඩයෙකු ලෙස ජීවත්වන්නේ ඇයි ?

 සිතන්න. සිත ඔබට ශක්ති සම්පන්න පිළිතුරක් ලබාදෙවි. ඔබේ සිත ඔබට නැණවත් ගුරුවරයෙකු වේවි. එවිට ඔබට ඇත්තේ සිතිවිලි ක්‍රියාවට නැංවීම පමණි. තමන්ගේ ගුරුවරයා කියන්නේ කුමක්ද එය මැනවින් අසා ඔබ සිත තුළ ධාරණය කරගන්න. නිවැරදිව ක්‍රියාවේ යොදවන්න. ඔබට පාසලේ දී පැවරෙන කිනම් කාර්යයක් වුවත් කෙතරම් අපහසු වුවත් උත්සාහයෙන් සම්පූර්ණ කරන්න. පනින්නට නොහැකි කඳුවලින් පැන මහා වීරයෙකු වන්නට උත්සාහ කරන්නේ යම්සේ ද ඉගෙනීම නැමති මහා ගංගාව තරණය කොට හමුවන සයුර හමුවේ වීරයෙකු මෙන් නැඟී සිටින්න උත්සාහ ගන්න.

දුවේ, පුතේ ඔබට මේ ලෝකයේ කළ නොහැකි කාර්යයක් නැත. ඔබට අවශ්‍ය මනා මාර්ගෝපදේශනය ඇත්නම් ධෛර්යය හා උත්සාහය මත ඔබට නිසි තැනට නිසි ලෙස ළඟාවිය හැකිය. ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දැනුම ගතින්, සිතින් හා මොලයෙන්ද නිසි ලෙස ලබාගෙන ඉතා සාර්ථක පුද්ගලයෙකු ලෙස අනාගත සමාජය ඉදිරියේ නැඟී සිටින්නට උත්සාහ ගන්න. ඔබේ නියම පෞරුෂය පෙන්විය හැක්කේ එලෙසිනි. තවත් අයෙකුට හිංසා පීඩා කිරීමෙන් වත්, චන්ඩිකම් පෑමෙන් වත් වීරයෙක් විය නොහැක. ධනයෙන් හෝ අවියෙන් සමාජය යටකොට ගෙන සමාජයේ වැජඹීමට දරණ උත්සාහය තාවකාලික බව උදාහරණ සහිතව සමාජය තුළ ඇත. නමුත් ජනප්‍රිය, සමාජයට වැඩදායක පිරිසක්  ලෙස පාලනය කරන්න ශක්තියක් ඇති පුද්ගලයාගේ පෞරුෂය සදාකාලිකවනු ඇත. ඔහුගේ ජනප්‍රියත්වය සදාකාලික වනු ඇත.

ඔබගේ මව හා පියා ඔබේ දෑත් දෙපය ශක්තිමත් ලෙස ඔබ හදාවඩා ඇත. එසේ කොට ඔබ සමාජයට දායාද කරන්නේ සමාජයේ දෝෂ දර්ශනයට ලක්වීමට නම් නොවේ .ඔබ කඩු කිනිසි ගෙන හෝ දූෂිත ලෙස සමාජයේ හැසිරෙයිනම් ඒ අමනුෂ්‍යයෙකි.

මනං උසසතීති මනුස්සො
මනසින් උසස් මිනිසා මනුෂ්‍යයෙක් යැයි සළකයි.

එසේ නම් මනසින් උසස් මිනිසා හැසිරිය යුත්තේ කෙසේ ද? යන්න ඔබ ඔබගෙන් ම විමසන්න. බල්ලාට අයත් කාර්ය බල්ලෙකු ලෙස හැසිරීමයි. බල්ලා එය නිසි ලෙස කරයි. නමුත් මනුෂ්‍යයෙක් තමන්ට අයත් කාර්යය මිනිසාට උචිත ලෙස කරන්නට කොතරම් දුරට උත්සාහ ගන්නේ ද? තිරිසනෙකුට අයත් කාර්යය මිනිසා විසින් කරන්නට යෑම අපද තිරිසන් සතෙකුගේ තත්ත්වයටම පත්වීමකි. ඔබත් එසේ වන්නට උත්සාහ දරනවාද? එසේත් නැතිනම් මනුෂ්‍යත්වයට ගරු කරන යහපත් දරුවෙකුව තම ඉලක්කය සපුරාගන්නේ ද?

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::