::: ඔබ වරදට නතුවන්නේ ඇයි :::


 











වත්මන් සමාජගත දෙමාපියන් ද බොහෝ කොට උත්සාහ දරනුයේ ඔවුනොවුන්ගේ සුඛ විහරණය තකා මුදල් වියපැහැදම් කිරිම පමණි. එහෙත මෙසේ වියපැහැදම් කිරීමෙන් තම දරුවන්ගේ අනාගතය අඳුරු වන බව සිතන්නට තරම් ශක්තිය නොමැතිවී ඇත. දෙමාපියන්ගේ සුඛ විහරණය සහ සිතුම් පැතුම් ආශාවන් සියල්ලක් ම සන්තර්පනය වූ පමණින්ම ඔවුන්ගෙන් සමාජයට දායාද වූ දූ පුතුන්ගේ අනාගත සිතුම් පැතුම් මෙන්ම පරමාර්ථයන් ද සන්තර්පනය වන්නේ දැයි එම දෙමාපියන් විසින් මැනවින් විමසා බැලිය යුතුය.


මාපිය දෙපල සතුව කෙතරම් ධන සම්භාරයක් තිබුණද එසේම ඔවුන් සතුව ධන සම්පත් හා සමානව දැනුම් සම්භාරයක් තිබුණද එම වස්තු සියල්ලෙන්ම ඔවුන්ගේ දූ පුතුන්ට ඵල ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ඇත්තේ එම දූ දරුවන්ගේ උගත්කම හා නූගත්කම මතයි. එම අවස්ථාව තුළදී උගත් දරුවෙකු නම් තම දෙමාපියන් සතුව ඇති වස්තුව නිසි පරිදි විය පැහැදම් කොට තම අනාගතයද මැනවින් සකසාගෙන ඔහුගෙන් දායාද වන දරුවන්ගේ අනාගතයද මැනවින් නිර්මාණය කරනු ඇත. එහෙත් නූගත් දරුවෙකුට මාපිය දෙපළගෙන් කෙතරම් මුදල් හදල් ලැබුණත් ඒ සියල්ලෙන් ම කිසිදු ඵල ප්‍රයෝජනයක් ගන්නට ඔහුට හැකියාවක් නොමැත. ඒ තුළ ඔහු සතු වූ වස්තු සම්පත් නිසාත් ඔහුගේ නූගත්කම මතත් බොහෝ මිනිසුන් පිරිසකට ඔහු පිළිලයක් වනු ඇත. එය අද සාමාජය තුළින් මැනවින් දැකගත හැකිය. එය දැක දැකත් නොදකිනා මිනිසුන් ලෙස දිවිගෙවනවා ඇරෙන්නට යහපත් ලෙස දිවි ගෙවන්නට උත්සාහ දරන්නේ කවුරුන්ද? එයට හේතුවක් ලෙස මුල් බැසගෙන ඇත්තේ කුමක්ද? සෑම පුද්ගලයෙකු සතුවම ඔහුගේ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය කරන සත්‍යය මෙන්ම අවශ්‍ය කරන සැකසුම් සියල්ලක්ම මොළය තුළ ගැබ්වී ඇත. අවශ්‍ය කරන්නේ තමන් සමාජයෙන් ලබාගන්නා ලද අද්දැකීම් තුළින් හා පාසල තුළින් ලබාගන්නා අධ්‍යාපනය මත අනාගත පරමාර්ථයන් හා ආශාවන් ඉටුකරගැනීම සඳහා උත්සාහයෙන් යුතුව ක්‍රියාත්මක වීම පමණි. තමන්ට සමාජය තුළ කිසිදු කාර්යයක් කරන්නට බැහැ යන පරමාර්ථය සිතේ තබාගෙන සිටින තාක්කල් සැපයක් හෝ සැනසුමක් විඳින්නට නොහැකිවනු ඇත. තමන්ගේ සුඛ විහරණය ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුතු එකම කාර්යය වන්නේ සිතින් සිතා නුවණින් විමසා හොඳ නරක කුමක් දැයි වටහාගෙන තමන්ගේ නිරෝගිමත් කයෙන් නිවැරදි කාර්යයන්හි නිරතවීම පමණි. එහෙත් අද සමාජගත පුද්ගලයින් කෙතරම් මොලය තිබුණත් සිත තුළ පවතින මුලාව හා අලසබව නිසා කිසිදු කාර්යයක් ගැන වැඩිදුර සිතන්නට නොපෙළඹෙනු ඇත. ඒ මත මොලයෙන් කරන ක්‍රියාකාරකම් සියල්ලක්ම අඩපණවී තමන් සමාජය තුළ දුක් විඳින අමන ගතිපැවතුම් පුද්ගලයෙකු ලෙස දිවිගෙවනු ඇත. ඒ ගෙවන ලද ජීවිතය ඔබට මෙන්ම සමාජගත පරිසරයටද හිරිහැරයක් හා කරදරයක් වනු ඇත. ඒ මඟින් සමාජය තුල දිළිඳු පවුල් බිහිවනු ඇත. ඒ බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී මෙලෙසින් දක්වා ඇත.
 

අධනානං ධනේ අනුප්පදිය මානේ දාළිද්දියං වේපුල්ල මගමාසි
දාළිද්දියෙ වේපුල්ලං ගතේ අදින්නාÞනං වේපුල්ල මගමාසි
අදින්නාදානෙ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ල මගමාසි
සත්ථෙ වේපුල්ලං ගතේ පණාතිපාතෝ වේපුල්ල මගමාසි
පාණාතිපාතේ වේ පුල්ලං ගතේ මුසාවාදො වේපුල්ල මගමාසි

ධනය නැති දිළින්දන්ට ධනය නැති ධනෝපායන මාර්ග අහිමිවීම නිසා දුප්පත්කම වැඩි විය. දුප්පත්කම වැඩිවීම නිසා සොරකම ඇතිවිය. සොරකම ඇතිවීම නිසා භයානක ආයුධ ඇතිවිය. ආයුධ ඇතිවීම නිසා ප්‍රාණඝාතය ඇතිවිය. ප්‍රාණඝාතය නිසා බොරු කීමට පෙළඹිය. ඉන් අනතුරුව ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ආදී දුසිරිත් බහුල වී එහි ප්‍රතිඵලයක් ලෙස ආයුෂ පිරිහී විපත් වැඩිවිය.

මේ ආදී කරුණු දෙස විමසා බලන විට පසක් වනුයේ මිනිසාගේ විමුක්තිය නසාගන්නා එකම කෙනා මිනිසාම බවයි. සිතන්නට පුළුවන් මනසක් ඇතිව උත්පත්තිය ලැබුවත් පවුල තුළ සිදුවන නොයෙකුත් අකටයුතුකම් නිසාවෙන් කුඩා කාලයේදීම දූ දරුවන්ගේ මනස විකෘතිවනු ඇත. කුඩා කාලයේ දී කුඩා ලෙස විකෘති වූ මනස අනාගතයේ දී සමාජයේ බිහිසුනු කාර්යයන් සඳහා සම්බන්ධවන විකෘති පුද්ගලයෙකු හා බිහිසුනු අවිආයුධ පරිහරණය කර සමාජය තුළ ප්‍රාණගාතය, සොරකම්, ආදී ක්‍රියාවන් සඳහා සම්බන්ධ වන පුද්ගලයෙකු නිර්මාණය වනු ඇත.

මේ කරුණු කාරණාවන් මැනවින් දේශනා කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ මෙන්ම ලෝකයේ නිර්මාණය පිළිබඳව මැනවින් දේශනා කල අග්ගඤ්ඤ සූත්‍රයේදීද මේ බව දේශිතය. එහෙත් මෙම කරුණු කාරණාවන් දැන දැනත් නොදන්නා පුද්ගලයන් ලෙස ජීවත්වන නිසා දුක්ඛිත අන්ත අසරණ ජීවිත ගෙවනු ඇත. සර්පයාගේ වල්ගයෙන් ඇල්ලු පසු සර්පයාට දෂ්ඨ කරන්නට හැකියාව ඇතිබැව් දැන දැනත් එම වල්ගයෙන් අල්ලන්නට යනවාද? එසේත් නැතිනම් සර්පයාගේ හිසින් අල්වාගෙන අවශ්‍ය පරිදි අවශ්‍ය කටයුතු සිදු කර ගන්නවාද යන වග අප අපගෙන්ම විමසා බැලිය යුතුය. මේ කරුණු කාරණාවන් තුළින් හෙළි කරන්නේ සාමාජීය ජීවියා දැන දැන නොමග යන බවයි. අකුසලයක් කළහොත් එතැන දී දුකක් විඳින්නට දැන දැනත් එම ක්‍රියාවලියම සිදුකරනවාද? යන බව ඔබ ඔබගෙන් ම විමසා බලා නිවැරදි කාර්යය කිරීම ඔබ සතුව පවතී.

දරුවෙකු උප්පත්තිය ලබන පවුල් ඒකකය තුළ ප්‍රධාන චරිතය වන්නේ මාපිය දෙපළය. එම දෙපළගේ ගැටුම් හේතුවෙන් දූ දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙනු ඇත. එම බිඳ වැටීම දරුවන්ගේ සමස්ථ අනාගතයම අඳුරු කරනු ඇත. දරුවන් විභාග සඳහා පෙනී සිටින මොහොතක ඔවුන්ගේ සිත් සතන් සනසන්නට නොයෙන් දේවාල කරා යන්නටත් නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර ගෙල පළදන්නටත් එම කාර්යයන් සිදු කොට දරුවන්ට ආශිර්වාද ලබාදෙන්නටත් උත්සාහ දරයි. එසේ කරන්නට සිදුවනුයේ පවුල් පරිසරය තුළ ඇති වූ අර්බුද හේ්තුවෙන් දරුවාගේ මානසික ස්ථාවරත්වය බිඳවැටීම හේතුවෙනි. එම කාර්යය මෑණියන්ට බතක් පිසගන්නට නොහැකිව වෙළඳසලකින් ආහාර ගෙනවිත් කුසගිනි නිවා ගන්නට උත්සාහ කරන්නාක් මෙනි. එහෙත් එම වරදට වගකිය යුත්තන් කවුරුන් ද? එසේම මෙයට විමසා බැලිය යුතුය. කිරි ඉල්ලා ඉකි බිඳින පුංචි බිලින්දන්ට බෝනික්කන් අතටදී නලවන්නාක්මෙන් කටයුතු කිරීමෙන් වැළකෙන්නට මනසින් උසස් මිනිසුන් වන අපට නොහැකිද? ආදරණිය අම්මේ තාත්තේ ඔබ නොහොඹිනා අකටයුතුකම් කරන නිසාවෙන් ඔබේ දුවගේ හෝ පුතාගේ මානසික නිදහස වෙනත් අඳුරු මාවතක් ඔස්සේ ගමන් කරනුු ඇත. දෙමාපිය දෙපළ නිවස තුළ නිතරම සණ්ඩු සරුවල් කරන විට ඉගෙනුම ලබන දූවා දරුවන්ට මහත් කරදරයකි. එවිට එම දුව හෝ පුතා ඒ පිළිබඳව කල්පනා කිරීමෙන් මන්දොත්සාහී තත්ත්වයකට පත් වනු ඇත. එවිට ඒ දුව හෝ පුතා ඉගෙනීමේ කටයුතුවල හා සමාජීය කටයුතුවල යෙදීමේ දී දුර්වල පුද්ගලයෙකු වනු ඇත. එම දුර්වලභාවය නිසාම දෙමව්පියන් එයට පිළියම් යොදන්නේ කෙසේද? තම දරුවාට අපල යැයි රටපුරා කියමින් යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් අවොල් දෙවොල් පැවැත්වීමයි.

නමුත් ආදරණීය අම්මේ තාත්තේ ඔබ ඔබේ දුවට හෝ පුතාට යන්ත්‍ර දැමීමෙන් හෝ පුදපූජා වට්ටි භාර හාර පැවැත්වීමෙන් පමණක් විභාග සමත් වන්නට නොහැකි වනු ඇත. ඒ ඒ විෂයයන් සියල්ලටම අවශ්‍ය කරන කරුණු එම ආකාරයෙන් ම මැනවින් අධ්‍යයනය කිරීම තුළින් හා අවබෝධය තුළින් විභාග ඉහළින් ම සමත් වන්නට හැකියාව ඇත. එහෙත් දේවාල ගානේ ගොස් කපු මහතුන් පොහොසත් කළ පමණින් විභාග සමත් වන්නට හැකිවක් නැති බව හොඳින් තේරුම් ගත යුතුය. කවරෙකු හෝ එම ක්‍රියාවලියේ යෙදෙන්නේ නම් එම තැනැත්තා මන්ද බුද්ධික පුද්ගලයෙකි. මේ කරුණු පිළිබඳව විමසන්නේ නම් අවුරුදු ගණන් විමසිය හැක. එහෙත් එම විමසීමේ කෙළවරක් දැකිය නොහැක. එසේම එම විමසීමෙන් ලබන ඵලය නිවැරදි ඵලයක් වේ දැයි මටම විශ්වාස කළ නොහැකිය.

අප සෑම කෙනෙකුම ගෙවන මේ දිවි ගමනේ අවසානය සතුටින් ගෙවන්නටත්, එම කාලපරාසය තෘප්තිමත්ව ගත කිරීමටත් නිවැරදි අරමුණක හැසිරෙන්නටත් උත්සාහ දරමු. එසේ නොවන තාක්කල් මේ ලෝකයේ ජීවත්වන දූ පුතුන් සැම දෙනෙකුටම දුක්ඛිත අන්ත අසරණ කිසිදු හව්හරණක් නැති දිවියක් ම උරුම වනු ඇත.

සතුටක් ලෙස කියාගත් දුක රැඳුනු ජීවිතයක් ගත කිරීමට වඩා සතුටක් ලෙස සිතට දැනෙන මානසික සැහැල්ලූවකින් හා කායික තෘප්තියකින් යුත් සදාකාලික සැනසීමක් ලබා ගන්නටත් උගතුන් ලෙස මේ ලෝකය බබලවන්නටත් හැකි දූ පුතුන් ලෙස මතු අනාගතයේ ලොව ජයගන්නටත් හැකි දරු පිරිසක් බිහිවේවා යැයි පතමි. එය මාගේ පරම පැතුම මෙන්ම පරමාර්ථයයි. එහෙත් එම පැතුම ඉටු කරන්නට හා සඵල කරන්නට කවරෙකු නම් මෙම සමාජයේ සමත් වේදැයි මටම පැනයක් කෙදිනක හෝ උපදිනු ඇත. එම පැනයටද පිළිතුරක් සපයන්නට මා විසින් ම උත්සහ දරනු ඇත.




Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::