Sunday, August 09, 2015

සිරිලක සුසිරි දම් පෙළපත අහිමි වෙලා




සිරිලක සුසිරි දම් පෙළපත අහිමි වෙලා
පිටපත් රචනයක් පමණක් ඉතුරු වෙලා
නැහැදුනු නුගුණ දුගුණයකින් වියරු වෙලා
අම්මත් පියත් නොහදුනවුන් ජනිත වෙලා

පෙරකල කොසොල් රජු අලූයම දකින ලද
සිහිනය මෙකල සිරිලක්දිව මවන ලද
දරුවන් මරුවො විලසින් මෙහි උපත ලද
විරුවන් විලස මව්පිය පන නසති අද

සිත තුළ බදින ආශා බැමි මතම හිද
ගත තුළ රුහිරු දියකළ මව් දෙපිය අද
සිහිකර නොයිද මව්පියො විදි දුගිනි කද
දෙඅතින් ඔබේ මව්පිය ගෙල සිදිනවද

සුසිරිත් දහම් පෙලපතකින් පැවත ආ සිරිලක් මවුන් තුළ රාගයෙන් පීඩිතව මොහයෙන් ලතෙත්වූ කුලූණු සිත් මියැදෙමින් සොදුරු සිත් සියල්ලම අදුරු කරමින් ආශාව නැමති සරාගී මරුවගේ සිතගටම වශී වී පුංචි මල් කැකුලූවන් දරුවන්ද වනසමින් ගෙවෙන මේ නිමේෂයෙ දෙමාපියො අසරණය.


ඉපදුනෙ පුතේ අප මව්පිය දෙදෙන නිසා
නොකැඩුනෙ දෑත දෙපයද අප හැදුව නිසා
මනසට නැණස එකලෙස යා කරපු නිසා
මිනිසුන් විලස හැසිරෙති අප දුකම නසා

කදුලැලි කැටය නෙතුයුග මත තබාගෙන
කිරිකැටි දරුවො ලයතුරුලේ හොවාගෙන
දෙතනය මුවට තබමින් මුව වසාගෙන
මතකද පොවපු කිරිබිදු රස වඩාගෙන

නාඩන් පුතුනෙ නාඩන් මගෙ සුදු පුතුනේ
අතගා සිරස සිඹ දෙතනය මුව හොවනේ
සරදම් නොකර නෙතුයුග කදුලැලි පිසිනේ
අම්මේ ඔබයි සැනසුවෙ කියමින් පුතුනේ

නිකටය සොලොවමින් නලලත සිඹින විට
මැදගිලි දඹරගිලි යාකොට සිරිස පිට
පිරිමැද සෙමින් බුදු සරණයි කියා මට
මතකයි අසිරි පැතුවා මගෙ මව්නි මට

දස මසක් කුස දරා දරුනු දුක් විද දරා දරුවන්ව බිහි කරා ගතේ ලේ කිරි කරා පොවති පුතු අත දරා එහෙත් ඒ දෙමාපිය දෙපල අද අසරණය. මගෙ පුතු බුදු වෙයන් හිස මුදුන සෙනෙහසින් අතගගා කුලූණැසින් පැතුව ආසිරි පැතුම මතක නැත දරු කැලට

මව් ගුණ විලස පිය ගුණයද සිතට ගෙන
ඇයි ලෝසතුනි නොකියන්නේ පියෙකු ගුණ
සව්ලෝ සතට උපදින්නට පිහිට වුන
අව්වේ ඔබයි වෙහෙසුනෙ ලොව මහගු මිණ

දාබිදු රුහිරු නෙක පොලොවට ගලනකොට
සාගිනි අසල කුස පියවර ගැටෙනකොට
ඉවසුවෙ පියේ දරු නෙත්යුග ගැටෙනකොට
මතකයෙ තියේ නුඹ විදි දුක් හොදට මට

දාහය රුහිරු විලසින් ගතගලායන
මානය දුරැුර දරු සෙනෙහස දරාගෙන
ජීවය විලස දරු පේමය තියාගෙන
මපියෙ ඔබයි සව්ලෝසත් මහගු මිණ

ජීවිත සරසවියෙ මතකය අවදි කල
පාවෙන සිතට අරුණැල්ලක් ජනිත කල
අම්මත් සමග එකතුව ඔබ දෙපල කල
රූසිරි මැවූ මහ බඹු ඔබ මෙලොව තුළ

සාගිනිද කුස දරා අව් වැසිද සුලන් රොද ගැටුනමුද පියෙකු ගත දරුවො කුස වේදනා නසන්නට වෙහෙසුනා. ජීවතේ සදාකල් දරුවො වෙත කැප කලා මවුන් හා එකතුවී ලොවේ රුව මැවූ දා මහබඹුන් නාමයෙන් ඔබව ලොව නම් කලා.


මාවත කියාලන ජීවිත සරු කරන
නොනැසෙන හිරුය ඔබ තිලොවග එලිකරන
හාවෙන සිරුර දරු කැලවෙත දියකරන
ජීවය ඔබයි මපියෙ ඔබ හිරු කිරන


ලේ කිරිකරන සෙනෙහස් ගග සිදුනමුද
ආහර සොයා ගැනැවිත් මගෙ උකුල මැද
කන්නකො පුතේ නුඔ සතුටින් සිටිනවද
ඇසු මගෙ පියෙ ඔබෙ ගුණ කද ගයමි අද

රසකිරි දෙතන මැද ඔබගේ නොවුනු නිසා
රසකර අහර ගෙනැවිත් කුසගිනිද නසා
මගෙ සුදු පුතේ මව් නැති දුක් කදුලූ නසා
කියමින් සිතට සැනසුම දුනි පියෙකු නිසා

සසරට බැදුනු සෙනෙහස් ගග වියලූමට
යන්නට නොදී පුතු තදකර සිය ලයට
ස්නේය අදර ආදර්ශය මුලූ ලොවට
පෙන්නූ පියේ ඔබමයි ලොව දිනිදු මට

දරුවො සිත් සනසමින් යහමගම පෙන්වමින් ජීවිතේ සදා කල් දරුවො වෙත කැප කලා. ජීවිතේ සරසවියේ පලමුවෙන් අකුරු කළ පියේ ඔබ හිරුය මට. සාගිනිද කුස දරා දරුවො වෙත සෙනෙහසින් ලේබිදුද දිය කරා. ලය තුරුලෙ සතපමින් දරුවො හට සෙනෙහසින් නැලෙව්වේ ඔබ පියේ.

පෙරදින මව්ට හා පියෙකුට මෙසිරිලක
නොවදින කෙනෙක් සොයලා වන වෙහෙස දැක
අම්මත් පියත් දුන් ඔවදන් හදෙහි නෙක
තබමින් දිවිය සරු කෙරුනා නොමැත සැක

පෙරදින පෙමින් බැදි අම්මා සමග පියා
පරයන සෙනෙහේ ගගුලැල්ලේ දෙනෙත පියා
සිත යන සෑම රුව වෙතටම දෙපය තියා
යන්නට නොයා දරුවන් හැම හදති සොයා

රූසපුවකට සිතුවිලි නෙකිනෙක බන්දා
යන්නට එපා සැනසුම නැත ඇත නින්දා
සංයත මනසකින් සිතුවොත් සිත බන්දා
රූපය දුකයි මොහොතින් වැනසෙන හින්දා

පෙර දිනේ සිරි ලකේ මව්පියන් රජවරුය. දරු පැටව් මල් වැනිය නමුදු අද ඒ සැවොම මැලවිලා නටු අගින් සිදෙන්නේ රාගයේ ගිනි දැල්ල හද ගැටෙන නිසාවෙනි. මිරිගුවක් සදිසි ඒ රාගයේ නාමයෙන් දරු පැටව් මෙසිරි ලක දෙමාපිය හදවතද නාදුනන පිරිසක්ව පාපයන් සිදු කරන් විදිත් දුක් වේදනා. මැවෙන රූ සිරි වරුණ මොහොතකින් නැසෙනවා ලසන වූ සියල්ලම මිලිනවී දුක ගෙනෙ.

ලස්සන කියා ලොකයෙ කිසි දෙයක් නැත
ගැස්සෙන සිතග සිතුවිල්ලක ඵලක් නැත
ගස්සා දුවන අසරුවමුත් වැටී ඇත
තුන්ලෝ තලේ කාමයෙ සැනසුමක් නැත

සිත්තුළ බැදුනු ආශා දම් වැල හින්දා
දුක් විදිනවා මනුලොව තුළ නව නින්දා
පත්වන විපතකින් ඉරනම දුටු හින්දා
පෙරදින බුදුන් දෙසුවා දම්පද බන්දා


බුදිනා විටදි මී අඹයක රසය මුවින්
නොපෙනේ පනුවො සිටයත් රස නහර ලොබින්
දුටුවොත් පසුව රසකර කෑ පනුවො බැවින්
වමනය යනව මිස කිසිවක් නොවෙති ඉතින්